Traditional Knowledge on Pest Control / පළිබෝධ පාලනය පිළිබඳ සාම්ප්‍රදායික දැනුම


 පාරම්පරික දැනුම යොදාගත හැකි අවස්ථා

 පාරම්පරික දැනුම යොදාගන්නා ආකාරය

 මූලාශ්‍රය

 මීයන් පැමිණීම වැලැක්වීම

  •  අන්නාසි ගස්වල මැද ගොබය ගලවා, ඒවා සැන්දෑ කාලයේදී කුඹුරේ මීයන් විසින් හානිකර ඇති ස්ථාන වල  සිටුවනු ලැබේ. මෙම කාර්යය සාර්ථක කර ගැනීමට නම් මෙම කාර්යය සිදු කරනු ලබන අය අන්නාසි ගොබ ගැසීමෙන් පසුව ආපසු නිවසට පැමිණෙන අතරතුරදී කිසිවකු සමඟ කථා නොකල යුතු යැයි විශ්වාස කෙරේ. අන්නාසි ගොබ කුණුවීමේදී නිකුත්වන දුගඳ මීයන් කුඹුරට ඒමෙන් වලක්වාලයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කුඹුරෙහි ස්ථාන ගණනාවක හණ ගොබ සිටුවනු ලබයි. හණ ගොබ කුණු වීමේදී නිකුත්වන අධික සැර සහ අමිහිරි දුගඳ මීයන් කුඹුරට ඒම වලක්වාලයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කුඹුරට මීයන් පිවිසෙන සහ පිවිසීමට ඉඩ ඇති ස්ථාන වල සිහින් කැබලි වලට කපාගත් පැපොල් කඳෙහි කොටස් සහ කොළ දමනු ලැබේ. මෙහිදී පැපොල් කඳෙහි සහ කොළ කැබලි වල ගඳ කිරි මීයන් කුඹුරට ඒම වලක්වන බව විහ්වාස කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 ගොයම් මැක්කන් මර්ධනය

  •  කිසිවකු සමඟ කතාබහකින් තොරව කුඹරේ විවිධ තැන්වල සිටවූ රිටි මත කප්පරවල්ලිය අතු සහ කොළ එල්ලනු ලබයි. මෙම ක්‍රමය ගොයම් මැක්කන් මර්ධනය සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  ගොයම් මකුණන් මර්ධනය සඳහා කැළණිය පොතු තලා යුෂ රැගෙන කොළ අත්තකින් කුමුරෙහි නියර වලට ඉසිනු ලැබේ. ඉන්පසුව කැප්පෙටියා අතු නියර දෙපැත්තෙහි සිටුවනු ලැබේ. මෙසේ සිටුවනු ලබන කැප්පටෙියා අතු උඩින් පැනීමෙන් වැලකීමෙන් හෝ ප්‍රතිඵල ලබා ගත හැකි බව විශ්වාස කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  ගොයම් මකුණන් මර්ධනය සඳහා හිමිදිරි පාන්දර (අල්ලෙහි රේඛා එසේත් නැත්නම් කොස් කොලයේ නාරටි යන්තමින් දර්ශණය වන වේලාවට) මඩු මලක් රැගෙන ගොවියා නිර්වස්ත්‍රව කුඹුරට යයි. මඩුමල රැගෙන කුඹුර වටා තෙවරක් යාමෙන් පසුව කුඹුරට සුලං හමන දිසාවෙහි ඉස්මත්තේ එය හිටුවනු ලබයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 කෘමීන් මර්ධනය

  • පන්දම් කාරිය යනු කුඹුරෙහි කුඹුරෙහි පන්දම් දැල්වීමය. දෙමට සහ වල්මී අතු වල ලී ගෙන ඒවායේ කෙළවර නැවත නැවත ගලක ගැසීමෙන් තල සිහින් තීරු බවට පත් කරනු ලැබේ. ඉන්පසු මෙම ඉපල් තැලූ කෙළවර ඉහලින් සිටින සේ කුඹරෙහි තැනින් තැන සිටුවා පන්දම් මෙන් දල්වනු ලැබේ. සාර්ථක ප්‍රතිඵල සඳහා දින තුනක් නොකඩවා සිදු කල යුතුය. පන්දම් වලට ඇදී එන කෘමීන් පිලිස්සී විනාශ වී යයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  බොකු ගෑම යනුවෙන් අදහස් කරනුයේ කුල්ලක් වැනීමයි. මෙය සිදු කිරීමට ප්‍රථමයෙන් කුල්ලෙහි යටි පැත්තෙහි කොහොම තෙල් හෝ පැඟිරි තෙල් ආලේප කරනු ලබයි. ඉන්පසු එසේ තෙල් ගැල්වූ පැත්ත ගොයම් කරලවල තැවරෙන ලෙස කුල්ලෙන් ගොයම් පිරිමදිනු ලැබේ. මෙම තෙල් වර්ග කෘමීන්ට විෂ සහිත බව විශ්වාස කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  දිග ලණුවක් ගෙන එය උණු කර ගත් හල්දුම්මල දියරයේ පොඟවා ගැනීමෙන් පසුව එම ලණුව කුඹුරෙහි මායිම් වටේට අදිනු ලබයි. මෙම ක්‍රමය භාවිතා කරනුයේ වී ගොවිතැනෙහි ගොයම් මැස්සන් මර්ධනය කිරීම සඳහාය. හල්දුම්මල සුළු කෘමීන් ගොවි බිමෙන් ඈත් කර තබයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  පස් පැඟිරි යනු පැඟිරි වැර්ග 05 ක්ද, පැඟිරි ගස් වර්ග 05ක ගස් වල හෝ අතු වල දර ලී පුළුස්සා එම අළු උදෑසනින්ම කුඹුරට ඉසිනු ලබයි. මෙම ශාන්ති කර්මය නිමවන තුරු කිසිවකු සමඟ කතාබහ කිරීමෙන් වැලකී සිටිය යුතුය. මෙය හානිකර කෘමීන් මර්ධනය සඳහා යොදාගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  මී තෙල්, තල තෙල්, කෙහොඹ තෙල්, පොල් තෙල් හා එඬරු තෙල් මය පස් තෙල් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර මෙය සබ්බ පාපස්ස අකරණං ..... ගාථාවෙන්  108 වරක් මතුරනු ලැබේ. රෙදි පාංකඩ වල එතූ පන්දම් සතරක් මැතිරූ තෙලින් පොඟවා, රාත්‍රී කාලයේදී කුඹුරෙහි සතර කොනෙහි සිටුවා දල්වනු ලබයි. මෙහිදී ගොයමට ඉහලින් පිහිටන ලෙස පන්දම් සිටුවීම අත්‍යාවශ්‍යය.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  තවත් ක්‍රමයක් ලෙස පන්දම් දැල්වීම සඳහා සාමාන්‍ය පොල්තෙල් භාවිතයෙන් පන්දමෙහි රෙදි පාංකඩ එතීම සඳහා පන්සලකින් ලබාගත් පාවිච්චියෙන් ඉවත් කල සිවුරු රෙදි භාවිතයත්ය. මෙම ක්‍රමයේදීද පන්දම් 4 කුඹුරෙහි සිවු කොනෙහි සිටුවා උදෑසන කපුටන් හැඬීමට පෙර දැල්වීම සිදු කෙරේ. කිසිවකු සමඟ කථාකරීමෙන් තොරව මෙය සිදු කල යුතුය.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  හොඳින් පිරිසුදු වූ ගොවියා බිත්තර වී අහුරක් රැගෙන දේවාලයට ගොස් කපුරාල ලවා තුන් වරුවක් යාතිකා කර ගනී. පසුව එම වී අනික් බිත්තර වී සමඟ මිශ්‍ර කොට බුදුගුණ සිහි කරමින් කුඹුරට ඉසිනු ලබයි. මෙය ළපටි ගොයම කෘමීන්ගෙන් හානිවීම මර්ධනය කරගැනීම පිණිස යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  තෙත් කලාපීය පුස්වැල් කැබලි හෝ වියලි කලාපීය කලවැල් කැබල් කුඹුරු යායට දිය සැපයෙන වක්කඩ අසල තබා එම යුෂ ජලය සමඟ මිශ්‍රව ගලා යන ලෙස තබනු ලබයි. මේ සියල්ල සිදු කල යුත්තේ කිසිවකු සමඟ කතා බහකින් තොරවය. මෙය කෘමීන් මර්ධනය කරගැනීම පිණිස යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කුඩා රිටිවල කෙලවර කෙසෙල් පිති ගසා ඒවා කුඹුරෙහි තැනින් තැන සිටුවනු ලබයි. එම කෙසෙල් පෙති මත පොල්තෙල් පහනක් සහ කිරිබත් ස්වල්පය බැගින් තබනු ලබයි. පක්ෂීන් කෙසෙල් පිති මත වසා කිරිබත් කෑමට උත්සාහ කරද්දී ඒවා කැඩී කුඹුරට වැටේ. මාංශ භක්ෂක පක්ෂීන් වැටුනු කිරිබත් ද සමඟ කුඹුරෙහි ඇති කෘමීන්ද අහුලා කා දමයි. මෙය ගොයමට හානිකර ගොඩවෙල්ලන් මර්ධනය සඳහා යොදා ගැනෙන ක්‍රමයකි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • උදෑසන කපුටන් හැඬීමට පෙර ගිතෙල් මිශ්‍ර කිරිබතක් පිසගනු ලබයි. මෙහිදී කුඹුරෙහි තැනින් තැන සිටවූ කුඩා රිටි මත තැබූ පොල් ලෙලි මත කිරිබත් ස්වල්පය බැගින් තබනු ලබයි. මෙම ක්‍රමය කුඹුරෙහි පණුවන් මර්ධනය සඳහා යොදා ගැනේ. කිරිබත් කෑමට කපුටන් පොල්ලෙලි මත වැසූ විට ඒවා කුඹුරට ඇද වැටේ. කුඹුරට වැටුණු කිරිබත් අහුලා කෑමේදී උන් පණුවන් හා අනිකුත් කෘමීන්ද අහුලා කා දමයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • කැකුණ මද සහ කොට්ට මද හොඳින් අඹරා කුඹුරෙහි තැන් තැන්වල පුළුස්සනු ලබයි. මෙය කුඹුරෙහි කෘමීන් මර්ධනය සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • කැලයෙන් සොයාගන්නා සවිමත් වැල් පොටක් කපුරාල කෙනෙකු ලවා මතුරවා ගනී. සවස් කාලයේදී එම වැල්පට කුඹුරෙහි ඉන්දූ කුඤ්ඤා වලට ගැට ගසනු ලබයි. මෙහිදී කිසිවතු සමඟ කතා නොකර ගොවියා ආපසු නිවසට යා යුතය. මෙම ක්‍රමය හානිකර කෘමින් මර්ධනය සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  තණකොළ හෝ තඹ පත්ඉරු හතරක සබ්බ පාපස්ස අකරණං... ගාථාව ලියා කුඹුරේදී එය 108 වාරයක් මතුරනු ලබයි. ඉන්පසු එම පත් ඉරු කුඹුරෙහි සතර කොනෙහි එල්ලනු ලබයි. මෙම ක්‍රමය කුඹුරෙහි හානිකර කෘමීන් මර්ධනය සඳහා යොදාගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  පොල් කෙඳි වලින් ඇඹරූ ලණු කැබලි කොහෙඹ තෙල් හෝ පැඟිරි තෙල් වල ගිල්වා පහලට එල්ලෙන අයරින් දිග ලණුවක ගැට ගසයි. කුඹුර දෙපැත්තෙහි සිට දෙදෙනෙකු විසින් මෙම ලණුව කුඹුර හරහා හොඳින් දෙපසට ඇද, පහලට එල්ලා වැටෙන ලණු කැබලි ගොයමෙහි වදින ලෙසින් කුඹුරෙහි එක් කෙලවරක සිට අනෙක දක්වා ඇදගෙන යයි. මෙය මැස්සන්ගෙන් හා වෙනත් කෘමීන්ගෙන් කුඹුරට වන හානිය මඟ හරවා ගැනීම සඳහා භාවිතා කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  රාත්‍රි කාලයේදී කුඹුරෙහි සෑම ලියද්දක් පාසාම කැකුණ තෙල් යොදා පන්දම් බැගින් දල්වනු ලබයි. ඉන්පසු ලියද්ද හරහා ලණුවක් ඇද නියර මත සිට දෙදෙනෙකු විසින් එම ලණුව පන්දම දිශාවට ඇදගෙන යනු ලබයි. මෙම ක්‍රමය කුඹුරෙහි කෘමීන් විසුරැවා හැරීම සහ මර්දනය කිරීම සඳහා යොදාගැනේ. කෘමින් කැකුණ පන්දමෙන් දැවී විනාශ  වෙයි. කැකුණ පන්දමෙහි දුමද කෘමීන් හට විෂකාරී වේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කුඹුරෙහි සතර කොනෙහි ගොයමට මදක් ඉහළින් පිහිටනු ලෙස අට්ටාල 4ක් ඉදි කරනු ලබයි. රාත්‍රී කාලයේදී මෙම අට්ටාල 4 මත ගිණිමැල සල්වා ලණුවක් ගෙන දෙදෙනෙකු එකතුව ගොයමෙහි වදින ලෙසින් දෙපැත්තෙන් ලණුව අද්දමින් ගිණි ගොඩවල් කරා ගමන් කරයි. මෙලෙසින් මුළු ගොයමෙහිම ගස් සෙලවීම සිදුවෙයි. කෘමීන්ගෙන් ගොයමට වන හානිය අවම කර ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කරනු ලබයි. ලණුව ඇදගෙන යාමේදී ගොයම් සෙලවීම නිසා සියළු කෘමීන් ඇවිස්සී ගිණි මැල දිසාවට ගොස් පිලිස්සී විනාශ වෙයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  ගොවීන් විසින් කටු සහිත අතු පීදෙන ගොයමෙහි තැවරෙන අන්දමින් එහා මෙහා අද්දනු ලබයි. මෙම ක්‍රමය ගොයමට එන කුරුල්ලන් පලවා හැරිම හා කෘමි මර්ධනය සඳහා භාවිතා කෙරේ. කටු අතු ඇද්දීමේදී කෘමීන් ඇවිස්සී ඉහල යාමට පටන් ගනිද්දී කුරුල්ලන් උන් කා දමයි. එක් විටදීම කුරුල්ලන් ගොයමින් ඈත් කිරීම සමඟින් කෘමි මර්ධනයත් මෙලෙසින් සිදු වේ. මෙය සිදු කරනු ලබන්නේ උදේ 8-9 දක්වා පමණ කාලයේදීය. මේ කාලයේදී කුරුල්ලන් බෙහෙවින් ක්‍රියාශීලි වන නිසාය.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කැප්පෙටියා අතු කුඹුරෙහි තැනතැන සිටුවනු ලබයි. මැතිරෑ අළු කුඹුර වටා ඉසිනු ලබයි. මේ සියළුම කාර්යයන් හිමිදිරි උදෑසන හිරු උදාවීමට පෙර සිදු කල යුතුය. ඉසිනු ලබන අළුවලින් කෘමින් විනාශ වන අතර පොල්කුඩු නිසා කෙතට ඇදී එන කුරුල්ලන් විසින් කෘමීන් කා දැමීම සිදු වේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  වී වපුරන විට සබ්බ පාපස්ස අකරණජ ගාථාව කීමෙන් කෘමි හානි අඩ් වී අස්වැන්න වැඩි වේ.

 ලිලී රණ්දෙණි

 

  •  හිමිදිරි උදෑසන වතුර හෝ භූමිතෙල් හෝ දර පිළිස්සු අළු කෙත් බිම පුරා ඉසිනු ලබයි. මෙය කෙතෙහි කෘමින් මර්ධනය සඳහා යොදාගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • මිරිකා ඉවත් කළ පොල් කුඩු කුඹුරේ සෑම තැනටම ඉසිනු ලබයි. පොල් කුඩු නිසා කෙතට ඇඳී එන කුරුල්ලන් විසින් කෘමීන් කා දැමීම සිදු වේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • කුඹුරෙහි තැන් තැන් වලට කුඩා රිටි සිටුවා ඒවායේ කෙළවර උඩු අතට සිටින ලෙසින් පොල්ලෙලි කැබැල්ල බැගින් රඳවනු ලබයි. මේ සෑම පොල්ලෙලි කැබැල්ලක් මතට මුං ඇට ස්වල්පයක් බැගින් දමා කුඹුරෙහි ගත් පස්වලින් ඒවා වසා දමනු ලබයි. එම මුං ඇට පැලවෙද්දී ගොයමෙහි කොළ සුදුවීම නවතින බව විශ්වාස කෙරේ. බොහෝ විට මෙයට හේතු වන්නේ කුරුල්ලන් කුඹුරට ඇඳී එමින් උන් පණුවන් සහ කෘමින් ආහාරයට ගැනීම නිසා විය හැක.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කොහොම තෙල් යොදා දැල්වූ පන්දමක් ගෙන එය පිළිස්සීමෙන් හානියක් නොවන අයුරින් වගාවෙහි සියලුම ශාක පැළෑටි අතුරින් රැගෙන යනු ලබයි. කෘමීන් දැමූ බිත්තර විනාශ කිරීම මේ තුළාන් සිදුවේ. එළවළු වගාවන් හානිකර කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙම ක්‍රමය උපකාරී වේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  පන්සලකින් ලබාගත් පාවිච්චියෙන් ඉවතලූ සිවුරු කැබලි කුඩා කෝටු වල ඔතා පන්දම් ලෙසින් කුඹුරෙහි හෝ වගා බිමෙහි තැනින් තැන සිටුවා දල්වනු ලැබේ. ඉන්පසු කපුරාල කෙනෙකු ලවා ගාථා කියමින් මතුරද්දී තඹ තහඩුවකින් සෑදු පිඟානකට (තලියකට) සිහින් කෝටුවකින් ගසනු ලබයි. මෙය ගොයම සහ අනිකුත් ධාන්‍ය වර්ග  හානි කර කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  දාස්පෙතියා මල් සහ කොළ පොඩිකර. කිසිවකු සමඟ කතාවකින් තොරව වගාභූමියෙහි විසිරවනු ලබයි. හේන් ගොවිතැනේදී වගා බිමෙහි අතරින් පතර දාස්පෙතියා ශාකය වගා කරනු ලැබේ. මෙය එළවළු බෝග කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කෙරේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  • හිමිදිරි උදෑසන සබන් වතුර හෝ භූමිතෙල් ඉසිනු ලබයි. මෙය කෙතෙහි කෘමීන් මර්ධනය සඳහා යොදාගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  •  පොල්කටු හෝ දර අඟුරු සහිත කබලක් ගෙන දුම්මල කුඩු ඉසීමෙන් වගාවට දුම අලවනු ලැබේ. මෙයද එළවළු වගාවන්හි කෘමීන් මර්ධනය සඳහා භාවිතා කරයි.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  නොපෑගුණ ස්ථානයකින් ලබාගත් තිරුවානා ගල් 08 ක් ගෙන නමෝ තෙරෙස් වාහ ඇරොස් වාහ නමෝ පරක් කේ ස්වාහ ගාථාව 108 වරක් මතුරා සතුන්ගේ කෑ ගැසීම් ඇසෙන්නට පෙර කෙතෙහි අටකොන වලලනු ලබයි. මෙය ඕනෑම බෝගයක කෘමි උවදුරු මර්ධනය සඳහා යොදා ගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  •  ගව මූත්‍රා දින 14 ක් හිරු එළියට නිරාවරණය කර තබා එකට හයක හෝ හතක අනුපාතයෙන් ජලය මිශ්‍ර කොට වගාවට ඉසීමෙන් පැල මැක්කා, මයිටාවා, කඩිත්තන්, කොළ හකුළන දළඹුවන් හා වෛරස් රෝග වැලැක්විය හැකිය.

අජිත් සිල්වා

 

  •  රඹුක් අතු, නික දළු, මහපට්ටා කොළ, හුණු ස්වල්පයක් හා මුසුකර මුට්ටියක දමා කුඹුර මැද කොටු මත තැබීමෙන් මැසි කෘමීන් පළවා හැරීම කළ හැක.

 වාහල්කඩ ජනවහර (2005)
විරවිජය ගුණසේකර

 

  • රත්මල් පොඩි කර එම රත්මල් ඉස්ම අරන් එයින් කෙසෙල් දල්ලක පහත සඳහන් ගාථාව ලියා කුඹුරේ තැබීමෙන් කෘමි රෝග දුරු වේ.
    රත්න භූත නාදි රාම - අප්‍රමෛය වඩිභවං
    රාජකේන්ද්‍ර භූෂිකේන්ද්‍ර මත්තවාර සංතුසං

 වංගල වාලිත්තං (2006)
කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ

 ගොයම් මැස්සන් හා පණුවන් මර්ධනය

  •  බටලී ගෑම යනුවෙන් අදහස් කෙරෙනුයේ උණ ලීයක් ගැනීමයි. මෙහිදී අඩි 7-8 ක් පමණ වූ උණ බට කැබැල්ලක් ගෙන එය සම්පූර්ණයෙන් වැසෙන සේ රෙදි පටි වෙලනු ලබයි. ඉන් පසුව එම රෙදිපටි ආවරණයෙහි දොරණ තෙල් සහ කොහොල්ලෑ කවරනු ලැබේ. ඉන්පසු එය ගොයම් උඩින්, කොළ වල තැවරෙන අයුරින් ඒ මේ අත වනනු ලැබේ. ගොයම් මැස්සන් එහි ඇලේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  මැරූ ගොයම් මැස්සන් තිදෙනෙකු සිදුරු කරන ලද ඇඹුල් දොඩම් ගෙඩි තුනක් තුළට ඇතුල් කරනු ලබයි. මේ එක්එක් දොඩම් ගෙඩිය කෙලවර තුනට පැලූ රිටි තුනක රඳවා ඒ්වා කුඹුරෙහි ආරම්භයෙහි මැද්දෙහි සහ අවසාන කෙළවර සිටුවනු ලැබේ. දෙඩම් ගෙඩි කුණු වීමේදී අධික දුඟදක් නිකුත් කෙරේ. මෙම දුඟද හේතුවෙන් ගොයම් මැස්සන් කුඹුරට ඒම වැලකේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • කුඹුරෙහි තැනින් තැන මුල් කොටස් ඉහලට සිටින ලෙසින් පොල් පිති සිටුවනු ලබයි. කුඹුරෙහි මැස්සන් මර්ධනය සඳහා මෙම ක්‍රමය යොදාගැනේ. පොල්පිති මත වසනු ලබන කපුටන්, බකමූණන් වැනි පක්ෂීන් ඉගිලෙන කෘමීන් කා දමයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • ගුරුන්ද ශාකයෙහි අරටු කැබලි ජලය පිරවූ භාජනයක දමා දින කිහිපයක් පුරා එසේ තිබීමට සලසනු ලබයි. ඉන්ලසු එම ජලය කුඹුරට ඉසිනු ලබයි. මෙම ක්‍රමය කුඹුරෙහි මැස්සන් මර්ධනය සඳහා භාවිතා කෙරේ.

  පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  මී ඇට සිඳ තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරි කුඩු කුඹුර පුරා ඉසිනු ලබයි. මෙය කුඹුරෙහි ඇති පණුවන් සහ මැස්සන් මර්ධනය සඳහා යොදා ගැනේ. මෙය කුඹුරෙහි සිටින්නා වූ විවධ සත්වයන්ගෙන් සිදුවිය හැකි හානිය වලක්වා ලීමට උපකතාරී වන බව විශ්වාස කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  වංගෙඩියකට දමා කෙටූ මඩු මල් කුඹුරෙහි තැන් තැන්වල ඉසිනු ලබයි. මෙම ක්‍රමය කුඹුරෙහි මැස්සන් මර්ධනය සඳහා යොදා ගැනේ. කෙටූ මඩු මලෙන් වහනය වන අධික දුගඳ නිසා මැස්සන් කුඹුරෙන් ඉවත්ව යයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  මහපට්ටා පොතු අක්කරයකට කිලෝ ග්‍රෑම් 05 ක් පමණ වන ලෙසින් එය හොඳින් තලා උදය වරුවේදී කුඹුරෙහි සෑම වක්කඩයකටම දමනු ලබයි. මෙම ක්‍රමය කුඹුරෙහි මැස්සන් මර්ධනය සඳහා යොදා ගැනේ. ජලයෙහි මිශ්‍ර වන මහපට්ටා යුෂවල අමිහිරි දුගඳ මැස්සන් පලවා හරී.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  මහපට්ටා අතු කුඹුරෙහි තැනින් තැන සිටුවනු ලබයි. මෙය සිදු කරන අවසානයේදී අඩි 07 ක් ආපස්සට පියවර මැන කුඹුරෙන් ඉවත් විය යුතුය. මෙය සිදු කරනු ලබන්නේද උදය වරුවේය. මෙය කුඹුරෙහි පණුවන් මර්ධනය සඳහා යොදචා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  ගොයම් මැස්සන් මර්ධනය සඳහා මිරිස් කරල් 3 ක් හෝ 7 ක් රැගෙන අළුයම් කාලයේදී කුඹුරට යන ගොවියා එම මිරිස් කරල් වල කෙළවර කඩා ඒවා තුළට ගොයම් මැස්සෙක් බැගින් ඇතුල් කර නැවත නූල් කැබලි වලින් ගැටගසා වසා දමයි. ඉන්පසු එම මිරිස් කරල් නිවසට ගෙනවිත් කුස්සියේ දුම් මැස්සෙහි එල්ලා තබයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  මැටි භාජනයකට දැමූ පස්තෙල් ජීවම් කර එය පහන්වලට වක් කරනු ලබයි. පාවිච්චියෙන් ඉවත දැමූ සිවුරු රෙදි කැබැල්ලකින් සැදූ පහන් තිර යොදගෙන එම පහන් සඳ පායාගෙන එන වේලාවේදී කුඹුර මධ්‍යයේ සල්වනු ලබයි. මෙහිදී ගොවියා සියළුම කාර්යය සිදු කිරීමෙන් පසුව පුස පස නොබලා නිවසට පැමිණිය යුතුය. මෙය කුඹුරෙන් මැස්සන් ඈත් කර තැබීමට භාවිතා කරයි. 

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  හීන් ඉඟුරු කොළ කුඩා මිටිවලට බඳිනු ලබයි. නැකැත් වේලාවක් බලා මෙම මිටි කුඹුරෙහි තැනින් තැන එල්ලනු ලබයි. මෙය මැස්සන් මර්ධනය සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  කුඹුරෙහි මැස්සන් අධිකව සිටීනම් එක හා සමාන දිවිකඳුරු කෝටු 7 ක් ගෙන ඒවා නමෝ මුණි මුණි වජ්ජිමුණිනමෝ ඒස්වාහ... ගාථාවෙන් 108 වාරයක් ජප කර ඉරු දිනයකදී සවස ඒවා සම්පූර්ණ කුඹුරට මායිම් වන ලෙසින්, හත් කොනක සිටුවනු ලබයි. මෙය කුඹුරෙහි මැස්සන් මර්ධනය සඳහා යොදාගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  වල් වරකා කැප්පෙටියා සහ කඳුරු අතු තුනක් බැගින් කුඹුරෙහි ආරම්භයෙහි මධ්‍යයෙහි සහ කෙලවරෙහි යන ස්ථානවල සිටුවා තබනු ලබයි. මෙය නොකඩවා ඉරු දිනයන් 3 ක් තුළදී සිදු කළ යුතුය. ගොයම් රත් පැහැ ගැනීම සඳහා මෙය යොදා ගැනේ. ඊට අමතරව මෙම ශාක තෙවර්ගයෙන්ම වහනය වන දුගඳ හේතුවෙන් මැස්සන් ගොයමෙන් ඈත් තර තැබීම සිදු වේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  • බුරුල්ල කෝටු වලින් කුඹුරෙහි මැද සලකුණු කරගනු ලබයි. මෙම කෝටු වල සිට කුඹුරෙහි විවධ දිශාවලට නූල් අඳිනු ලබයි. අබ, පෙරුම්කායම්, අල කොළ, සුදුලූණු සහ රතු ලූණු නැවුම් වලඳකට දමා, කෙතෙහි ලිපක් බැඳ නැකැත් ශාස්ත්‍රයට අනුව කලින් තීරණය කළ නැකැත් වේලාවකදී ගිණි මොලවා මිශ්‍රණය හොඳින් කලවම් කරමින් දියාරු වන තුරු පිසගනු ලබයි. එසේ දියාරු තත්වයක පැමිණි පසුව එම මිශ්‍රණය කුඹුර පුරා ඉසිනු ලබයි. මේ සියළුම දේ කිරීමේදී කිසිවකු සමඟින් කතා නොකිරීමට වගබලා ගත යුතුය. මීට අමතරව එම දිනයේ රාත්‍රියේදී ගොවියාගේ නිවසෙහි ආහාර වේලට අලකොල කොළ වෑංජනයක් ඇතුළත් කරගැනීම සිදු කල යුතුය. මිශ්‍රණයේ සුවඳ කුඹුරෙහි මැස්සන් පලවා හැරීමට හේතු වේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  රිටිවල ඇමුණූ පොල් කෝම්බ (තැඹිලි/කුරුම්බා) වගා බිමෙහි තැනින් තැන සිටුවනු ලැබේ. මීට අමතරව වරකා ගසෙහි මුල් යටින් ගන්න පස් සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් 108 වාරයක් මතුරා කිසිවකු සමඟ කථා කිරීමෙන් තොරව වගා බිම පුරා ඉසිනු ලබයි. මෙම ක්‍රමය ගොයම් සහ වෙනත් කෙත් බෝග වර්ග මැස්සන්ගෙන් හා සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා යොදා ගැනේ.
 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  නා අතු සහ පුවක් මල් සෑහෙන ප්‍රමාණයක් රැගෙන දේවාලයේ කපුරාල ලවා මතුරවා ගෙනැවිත් නිවස ආසන්නයේ පැඟිරි ගසක රඳවා තබයි. පසුදින අළුයම් කාලයේදී කුරුල්ලන් අවදි වීමට පෙර, කිසිවකු සමඟ කථා කිරීමකින් තොරව එම අතු පතෙහි තැනින් තැන තැන්පත් කරනු ලබයි. මෙය සිදු කිරීමෙන් පසුව ගොවියා කිසිවකුටත් නොපෙනෙන අයුරින් කෙතෙන් පිට වී යා යුතුය. වරු තුනක් ඉක්මෙනතුරු එම ගොවියා ගොවි උපකරණ පාවිච්චියෙන් වැලකී සිටිය යුතුය. මෙම ක්‍රමය ගොයමෙහි සහ වෙනත් ධාන්‍ය බෝගයන්හි මැස්සන් මර්ධනය සඳහා යොදාගැනේ.
 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 

  •  වගා බිමෙහි තැනින් තැන දිමි ගොටු දැමීමෙන් වගාවේ දිමියන් බෝ වීම සිදු වේ. වගාවේ සිටින මැස්සන් හා කුඩිත්තන් මර්ධනය කිරීම සඳහා මෙම ක්‍රමය යොදා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  අමු පොල් බෑ වලින් සාදාගත් පහන් වලට පොල් තෙල් දමා පන්සලකින් සොරාගත් පාවිච්චියෙන් ඉවත ලූ සිවුරු රෙදි කැබැල්ලකින් තැනූ පහන් තිර යොදා කුඹුරු යායේ හෝ වගා බිම වටා තබා දල්වනු ලබයි. දින කීපයක් ඉක්මවී යාමෙන් අනතුරුව සියළු ගොවීන් සියුරු සොරකම පිලිබඳව පන්සලට දැනුම් දෙනු ලබයි. මෙම ක්‍රමය ගොයමේ සහ ගොවිතැන් බෝගයන්හි මැස්සන් මර්දනය සඳහා යොදා ගැනේ.
 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  ගොක් අත්තෙන් මල් පැලක් තනා ඒ මත මල්, පුවක් මල් තබා ජප කරනු ලබයි. ඉන් පසුව පුවක් මල් කිනිති වෙන් කොට ලාටු වර්ගයක් දවටා වගාබිමෙහි තැනින් තැන සිටවූ රිටි වල එල්ලනු ලබයි. මෙම කෙම් ක්‍රමය හිරු උදාවට පෙර සිදු කල යුතුය. තුන්වරුවක් ගතවන තුරු වගාබිම තුළ ගොවි උපකරණ භාවිතයෙන් වැලකී සිටිය යුතුය. මෙය වී කරහන් සහ හේන් බෝගයන්හි මැස්සන් මර්ධනය සඳහා යොදාගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  සුදුලූණු, කළුදුරු සහ පෙරුම්කායම් ගෙන ඒවා හොඳින් මිශ්‍ර කර නැවුම් මැටි භාජනයකට දමා එයට පොල් කිරිද එකතු කරනු ලබයි. සවස 6.30 පමණ වේලාවේදී වගාබිමට රැගෙන යන එම මිශ්‍රණය මරු සිටින දිශාව බලා  පැඟිරි දර වලින් දැල්වූ ගින්නෙන් උණු කරනු ලබයි. ඉන් පසුව භාජනයේ ඉතිරිව ඇති රොඩු අල කොළයෙන් සෑදු ගොටු වලට දමා වගා බිමෙහි සතර කොනෙහි එල්ලනු ලබයි. මෙම කෙම් ක්‍රමය කුඹුරකදී සිදු කරන වීටදී පිදුරුද එම මිශ්‍රණයට එකතු කරනු ලබයි. වී සහ එළවළු බෝග වගාවේදී මැස්සන් සහ පණුවන් මර්ධනය කිරීම සඳහා මෙය යොදා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  කරවිල, වැටකොළු ආදී එළවළු මැසි යට ගෙන්දගම් පුළුස්සනු ලබයි. ගෙන්දගම් පතෝල, කරවිල, වැටකොළු වැනි වගාවන්හි මැස්සන් මර්ධනය සඳහා යොදා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 


  • සුදුසු ස්ථානයක අළුතින් කණිනු ලැබූ ළිඳකින් පැඟිරි කොළ වලින් එකතු කරගනු ලැබූ නැවුම් වතුර මුළු රැය පහන් වන තුරුම බුදුගුණ ගායනා කරමින් මතුරා හිමිදිරි උදෑසනදී කිසිවකුට නොපෙනී, කිසිවකු සමඟ කථානොකර වගා බිම පුරා ඉසිනු ලබයි. මෙම ක්‍රමය නගාවට පණුවන්ගෙන් වන හානි මර්ධනය කර ගැනීම සඳහා යොදා ගනී.
 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  • තිරිඟු පිටි අඩු කෝප්ප දෙකක් ජලය ගැළුම් දෙකහමාරකට දියකර ඉසීමෙන්ද මිරිස් හා තක්කාලි වගාවේ මැස්සන් , මයිටාවන් හා පැළ මැක්කන් මර්දනය කල හැක.
අජිත් සිල්වා

 

  • ගොයම් පීදෙන කාලයේ තුන් වරුවක් මැතිරූ සුදු රෙදි කැබලි දෙමට ලීයක ඔතා පොල්තෙල් හෝ මී තෙල්වලින් පොඟවා ඉන් අනතුරුව රාත්‍රී 7.00 ට පමණ වෙලට ගොස් ඒවා වෙලෙහි කනතුවල සිටුවා පත්තු කරනු ලැබේ. මෙම කාර්යයට යන අතරතුර හා කාර්යයයෙන් පසු නිවසට පැමිණද කා සමඟවත් කතා නොකර සිටිය යුතුය. තුන් වරුවක් යනතුරු වෙලට යාමද තහනම්ය.
දේවමැදිහත්පත්තුවේ ජනවහර (2005)
සරත්චන්ද්‍ර කුමාරසිංහ

 ගොයම් කීඩෑවන් මර්ධනය

  •  හොඳින් පිරිසිදු වන ගොවියා කොස් කිරි, දෙල් කිරි හා පොල් කිරි භාජනයකට දමා එම මිශ්‍රණය කන්නලව්වක් කරමින් පත්තිනි දෙවියන්ට පුදනු ලබයි. ඉන් පසු පුවක් මල් කිනිත්තක් රැගෙන එම කිරි ම්ශ්‍රණය කුඹුරට ඉසිනු ලබයි. මෙම ක්‍රමය ගොයම් කීඩෑවන් මර්ධනය සඳහා යොදා ගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  • ගොයම් කීඩෑවන්, ගොක් මැස්සන් , පුරුක් පණුවන් වැනි කෘමීන්ගෙන් බෝවන රෝග මඟ හැරවීමට කොහොඹ ගසේ කොල, ඇට, පොතු හා නිදිකුම්බා, වල් ඉඟුරු සෙක්කුවේ දමා අඹරා ඒ යුෂ මිශ්‍රණය බෝතල් 1 කට ජලය බෝතල් 6 ක් මිශ්‍ර කර ඉසිය යුතුය.

කේ.ජී. තාරකා සචින්තනී

 පණු රෝග මර්ධනය

  •  ඉත්තෑ කොළ සහ වියන් දුඹුළු දැලි හොඳින් මිශ්‍ර කොට අඹරා කුඹුරට ජලය ගලා එන වක්කඩ මුලට දමනු ලබයි. මෙය වී වගාවේ පණු රෝග මර්ධනය සඳහා භාවිතා කරයි.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  කුඹුරු යායවල තැනින් තැන මී ගස් සිටුවීමෙන් ගසේ මල් හටගැනීමෙන් පසු ගොයම් පණු රෝග මර්ධනය කරගත හැක. එටමන්ම ගොයමද සරු වේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 බිං ඌරන් මර්ධනය

  •  හබරල පිති කුඩා පෙති වලට කපා මඩ කිරීමට සූදානම් කුඹුරෙහි තැනින් තැන විසුරුවාලයි. මෙම ක්‍රමය කුඹුරෙහි බිං ඌරන් මර්ධනය සඳහා යොදා ගැනේ. හබරල පෙති කුණු වීමෙන් ඒවායේ යුෂ මඩ සමඟ මිශ්‍ර වී නියර බැඳීමේදී ඒවා තුළට කා වැදේ. මෙම යුෂ බිං ඌරන් හට විෂ සහිතය.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 කොක්කානා රෝගය මර්ධනය

  •  වල්දෙල් ගෙඩියෙහි පොතු කුඹුරට ජලය සැපයෙන් වක්කඩෙහි දැමීමෙන්ද කොක්කානා රෝගය මර්ධනය කර ගත හැකි යැයි විශ්වාසය කෙරේ.

  පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  කොක්කානා රෝගය මර්ධනය කිරීම සඳහා කිසිවකුට නොපෙනී නාවා කොළ මිටක් කුඹුරට ජලය සැපයෙන වක්කඩෙහි වළලනු ලබයි.

  පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  කොක්කානා රෝගය මර්ධනය කිරීම සඳහා මඩු ගෙඩි කුඩා කැබලිවලට කපා කිසිවකු සමඟ කථානොකර කුඹුරෙහි නියර මත දමනු ලබයි. මඩු ගෙඩි අධික දුඟදක් වහනය කරයි.

  පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)

 ගොළුබෙල්ලන් මර්ධනය
  • කුඹුරෙහි ගොළුබෙල්ලන් මර්ධනය සඳහා ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක් තුළට ගලගෑ රත් හඳුන් ස්වල්පයක් එක්කර කලවම් කර ඇස්ස අඹ කොළවලින් නැවත වසා දමනු ලබයි. ඉන් පසුව සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් 108 වරයක් මතුරා එම තැඹිලි වතුර කුඹුරෙහි සෑම තැනටම ඉසිනු ලබයි. මේ සියළුම දේ නිම කිරීමෙන් පසුව කිසිවකු සමඟ කථා නොකර නිවසට යා යුතුය.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 මිරිස් කරල් විදින පණුවන් සඳහා

 
  • සුදුලූණු බික් සහිත ගෙඩි 5-6 ක් හොඳින් අඹරා ජලය ගැළුම් දෙකහමාරක දියකර පෙරා එකට පහක් ලෙස ජලය මිශ්‍ර කර ඉසීමෙන් මිරිස් කරල් විදින පණුවන් පාලනය කල හැක.

අජිත් සිල්වා

 සියළුම හානිකර පළිබෝධ


  • සඳුදා දිනකදී උදෑසන කපුටන් හැඬීමට පෙර උල් කරගත් කෙළවර සහිත කඳුරු ලීයක් මායිමෙහි සිටුවීමෙන් කෙත වටා ඉණි වැට සිටුවීමට මුල්පුරනු ලබයි. ඉණිවැටෙහි වැඩ අවසන් කරනු ලබන්නේ ඊට පසු සඳුදා දිනයේදී නැවතත් කඳුරු ලීයක් සිටුවීමෙනි. මෙම කෙම් ක්‍රමය කෙත සියළු හානිකර පලිබෝධ වලින් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 පණු උවදුරු මර්ධනය

  •  දුම්කොළ නැටි අහුරක් ගෙන වතුර බෝතල් හතරකට දමා උතුරනු ලබයි. මෙහිදී වතුර බෝතල හතර එක් බෝතලයක් වන තරමට හොඳින් සිද ගැනීමෙන් පසුව නිවෙන්නට හැර පෙරා දියරය වෙන් කරගනු ලබයි. මෙසේ සිඳගත් දියර බෝතල් කාලකට වතුර බෝතල් 6 බැගින් මිශ්‍ර කරගත් පසු ඉසිනයක ආධාරයෙන් සවස් කාලයේදී වගාවට ඉසිනු ලබයි. මෙලෙස අඛණ්ඩව සවස් යාම තුනකදී දියරය ඉසීම සිදු කල යුතුය. එළවළු බෝගයන්හි පණු උවදුරු මර්ධනය සඳහා මෙම ක්‍රමය යොදා ගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  අමු කොහොඹ කොළ ගෙන හොඳින් කොටා එහි යුෂ වතුර සමඟ මිශ්‍ර කොට කිසිවකු සමඟින් කථා නොකොට වතුරට ඉසිනු ලබයි. මෙය එළවළු බෝගයන්හි පණුවන් මර්ධනය සඳහා යොදා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 අවුලක පෝරා කෘමීන් මර්ධනය

  •  අනෝදා පත්‍ර 115-125 ක් රෙදි කැබැල්ලක ඔතා අලියා බීම බෝතල් 20 ක පමණ ජලය සමඟ මිශ්‍ර කර වගාවට ඉසීමෙන් අවුලක පෝරා කෘමීන් මර්දනය කළ හැක.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  •  කලවැල් කි.ග්‍රෑම් 2 ක් පමණ ජලය ගැලුම් තුනහමාරක මිශ්‍ර කර පැය 24 ක් තබා ඉසීමෙන් අවුලක පෝරා පළතුරු මැස්සා හා කොළ හතුළුවන දළඹුවා මර්ධනය කළ හැක.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  නටුව සමඟ අරලිය මල් අහුරක් ගෙන අලියා බීම බෝතල් 03 ක පමණ ජලය සීනි තේ හැඳි 01 ක් මිශ්‍ර කර එයට නටුව සිහින්ව කපාගත් අරලිය මල් මිශ්‍ර කර පැය 24 ක් තබා වගාවට ඉසීමෙන් අවුලක පෝරා කෘමියා, පණු කඩිත්තන් මර්ධනය වේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 කුරුල්ලන් එළවීම

  •  වගාවට ගිරවුනගෙන් හානි සිදුවී ඇතිඅවස්ථාවන්හීදි එසේ හානිකොට ඇති කරල් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ගල්කැට ගෙන මතුරා නියර උඩ තබනු ලබයි. මෙම කෙම් ක්‍රමය සිදුකිරීමෙන් පසුව ගිරවකු විසින් කරල් වලට හානි පැමිණුවහොත් එම ගිරවා ජීවිතක්ෂයට පත්වන බවට විශ්වාස කෙරේ. මෙම ක්‍රමය වී, ඉරිඟු, තල. මෙනේරි වැනි බෝගයන්ට ගිරවුන්ගෙන් වන හානි වලක්වා ගැනීම සඳහා භාවිතා කෙරේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  •  හිමිදිරි අදැසන කුරුල්ලන් අවදිවීමට පෙර මරං අතු තුනක් කෙතෙහි මුල. මැද සහ කෙළවර යන ස්ථානවල සිටුවනු ලබයි. මෙසේ සිටවූ අතු දෙස නොබලා කෙතෙන් පිටවී යාමට ගොවියා විසින් වග බලා ගත යුතුය. වගාවට හානිකර කුරුල්ලන්  කෙතට ඒම වැලැක්වීම සඳහා මෙම ක්‍රමය යොදා ගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  •  සබ්බ පාපස්ස අකරණං ගාථාව 108 වරක් මතුරමින් කොළපත් කැබලි වල රෑප අඳිමින් ඒවා සුළඟට ලෙලදෙන ලෙසට වගා බිමෙහි තැනින් තැන සිටවූ රිටිවල එල්ලනු ලබයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  හොඬල අලයකින් තැනූ රබානකට කයිල වැල් කෝටුවකින් ගසුන ලබයි. මෙය සිදු කරනු ලබන්නේ නැකැත් වේලාවකදී වගාව තුළ සක්මන් කරමින්. මෙය කෘමීන් හා කුරුල්ලන් වගා බිමෙන් පලවා හැරීමට යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 වන සතුන් පැමිණීම වැළැක්වීම

  •  හිසකෙස් කොට කොහොඹ තෙලෙහි මිශ්‍ර කොට උදේ වරුවේදී  වගා බිමෙහි ස්ථාන කීපයක දමනු ලබයි. මෙය  මීයන්, ඉත්තෑවුන් සහ ඌරන් වී සහ එළවළු වගා බිම්වලින් පලවා හැරීම සඳහා යොදාගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  කැකුණ ඇට මද, ඉත්තෑ වැල්  කොළ සහ පොතු සමඟින් හාල්මැස්සන් ඔළු ආදිය වතුරෙන් මිශ්‍ර කොට මුට්ටියක දමා දින කීපයක් එසේ පල් වීමට ඉඩ හරිනු ලබයි. ඉන් පසුව පේර හෝ කැප්පෙටියා අතු කැබැල්ලකින් එම දියර වගාවට ඉසිනු ලබයි. මෙම ක්‍රමය වගාවට හානිකර සතුන් පලවා හැරීම සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  ගඳපාන කොළ වගාබිමට රැගෙන ගොස් සවස් කාලයේදී ඒවා එහිදීම පොඩිකර වගාවෙහි තැන් තැන්වල දමනුලබයි. මෙම ක්‍රමය සිදු කිරීමෙන් පසුව සතියක් පමණ ඉකුත් වන තුරු එම වගා බිමෙහි වල් නෙලීම හෝ උදලු ගෑම නොකල යුතුය. මෙය සිදු කලායින් පසුව සතියක පමණ කාලයක් දක්වා වගාබිම ඌරන් වැනි සතුන්ගෙන්  ආරක්ෂා වන බව විශ්වාස කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  ගොක් අතු කැබලි කුඩාවට ලියා ලණු කැබලි වලින් දිග රිටි වල කෙළවර එල්ලා වගා බිමෙහි නියරවල් දිගේ සිටුවනු ලබයි. ගොක් අතු පැලලි සුළඟේ සෙවීමේදී ඇතිවන ශබ්දයට බියවීම හේතුවෙන් සාවුන් වැනි සතුන් වගා බිමට ඒමෙන් වැලකේ. මෙම ක්‍රමය වී ඇතුළු ධාන්‍ය බෝග වගාවන් සාවුන්,මීයන් වැන ිසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  නක්ෂත්‍රයට අනුව සමකට වරක් යෙදෙන දිවිකරණ යොගය සහිත දිනයකදී උදෑසන කපුටන් හැඬීමට ප්‍රථමයෙන් සබ්බ පාපස්ස අකරණං ගැථාවෙන් මැතිරූ ධාන්‍ය බෝගය කෙතෙහි වපුරනු ලබයි. ඉන් පසුව අඩි 02-03 පමණ උස ලී දඬු කීපයක් සිටුවා වැටක් බඳිනු ලබයි. කුඹුරු වල මෙවැනි වැටක් ඉඳිවන්නේ ජලය අතුළු වන වක්කඩ හරහාය. ඉන් පසුව වගා බිමෙහි මායිම වටා අඩි 2 ක් පමණ උසකින් වැල්පටක් ඇද පෙර සිටවූ ලී දඬු වලට බඳිනු ලබයි. මෙය කුඹුරු සහ හේන් වගාවන් වන සතුනගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  ටූනා ගසෙහි කොළ භූමිතෙල් සමඟ කොටා  ගනු ලබයි. කොටා ගත් එම මිශ්‍රණය කුඩා ගුලි ලෙසට තනාගෙන ඒවා කිසිවකු සමග කතා කිරීමකින් තොරව සවස් වරුවේදී වගා බිමෙහි තැනින් තැන තබනු ලබයි. එම මිශ්‍රණයේ නිකුත් වන අධික දුඟද හේතුවෙන් මීයන් වැනි සතුන් වගා බිමට ඒම වලක්වාලයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  බීජ වැපිරිමට පෙර වගා බිමෙහි හරි මැද කුඩා රවුමක් සලකුණු කොට වැපිරීමට ගන්නා බීජ ස්වල්පයක් එම කොටසෙහි වපුරනු ලබයි. ඉන්පසුව ජීවම් කරන ලද මොනර පාදයකින් එම වැපිරූ බීජ පහුරු ගාමින් පස්වලින් වසා දමනු ලබයි. වගා බිමෙහි බීජ වැපිරීම සිදු කරන්නේ ඉන් පසුවයි. කුඹුරු හා හේන් වගාවන් ඌරන්ගෙන් සහ අලියන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  මැටි කලයක් ගෙන එහි කටට තලගොයි හමක් බැඳ එය හඬතලමින් යාතිකා කරනු ලබයි. මීට අමතරව වගා බිම තුළ ස්ථාන ගණනාවක පන්දම් හා ගිණිමැලද දල්වනු ලබයි. මෙම ක්‍රමය වී වගාවට සහ හේන් වගාවට ඌරන්ගෙන් වන හානිය වලක්වා ගැනීම සඳහා භාවිතා කෙරේ. ගිණිමැල සහ පන්දම් නිසා මැස්සන්ද විනාශ වී යයි.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  මේ සඳහා භාවිතා කරනු ලබන මන්තරය තල් පත් ඉරුවක ලියා දිවකරණ යොගය සහිත දිනක සුදුසු නැකැත් වේලාවකදී විසි තිස් වාරයක් මතුරා ජප කර වගාබිමෙහි පැහැදිලි ලෙස දර්ශනය වන ස්ථානයක එල්ලා තබනු ලබයි. මෙම ක්‍රමය වගාවන් මීයන්ගෙන් සහ සාවුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කෙරේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  පැඟිරි ගසක ලී යොදා ගනිමින් පඹයෙකු සාදනු ලබයි. ගොවීන්ගේ පාවිච්චි කල ඇඳුම් මේ සඳහා යොදා ගැනේ. පඹයාට දුම්මල ඇල්ලීමෙන් පසුව නැකැත් බලා සුභ මොහොතින් වගා බිමෙහි පිහිටවනු ලබයි. මෙය ඌරන් සහ වෙනත් වල් සතුන් බිය වැද්දීම සඳහා යොදා ගැනේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)   

 

  •  කඳුරු කොළ 5 ක් ගෙන මතුරා, මන්තරයට අදාල රූප ඒවායේ ඇඳ ඉන් එක් කොළයක් කුඹුරෙන් වතුර පිට කරනු ලබන වක්කඩෙහි ද, අනෙක්වා කුඹුරෙහිද සතර කොනෙහිද වලලනු ලබයි. මෙම ක්‍රමය වල් ඌරන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කෙරේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  හිමිදිරි උදෑසන නොපෑගුණු වැලි සහ ගොම ගෙන කලවම් කර වගා බිම පුරා ඉසිනු ලබයි. මෙම ඉසීම සිදු කරන්නේ ඉදිරියට නොව පසුපසටය. මිශ්‍රණය ඉසීමෙන් පසු ඔහු/ඇය නිවසට යන තෙක් කිසිවකු සමඟ කථා නොකල යුතුය. මෙම ක්‍රමය වල් ඌරන් මර්ධනය සඳහා යොදා ගැනේ.

 පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 

  •  කරණයට අනුව වැපිරීමෙන් වල් පැළෑටි වලින්ද, දිනි කරණයට අනුව වැපිරීමෙන් වල් ඌරන් හා කුළු මීමන්ගෙන්ද වී වගාව ආරක්ෂා වේ.

ගොඩකවෙල සෙනෙවිරත්න වෙද මහතා

 

  •  රෑ ලිපේ පිළිස්සුනු අළු පසුදින හිමිදිරියේ කපුටන් හඬලන්නට පෙර රැගෙන .ඕං නීල නීල අතිලේස්වහං. මෙම යන්ත්‍රය 108 වරක් මතුරා කෙතට ඉසීමෙන් සත්ත්ව හානි අවම කරගත හැකිය.

 පැරණි ගොවිතැනේ අසිරි සිරි (2003)
අශෝක කුමාර කරුණාරත්න

 

  •  වගාවන් වල් ඌරු උවදුරින් බේරා ගැනීම සඳහා වගාවේ මායිම වටා කෙස් කොට විසුරුවා හැරීම සිදුකරයි. මෙවිට වල් ඌරන් වගාවට ඇතුළුවීම වැලකෙයි.

ටී.එම්.ඒ. තෙන්නකෝන්

 පණු රෝග හා කොළ සුදුවීමේ රෝගය මර්ධනය

  •  ගස දෙස නොබලමින් සන්ධ්‍යා කාලයේදී කඩාගනු ලබන කැප්පෙටියා අතු ඒවා දෙස නොබලාම වගාබිමෙහි රෝග ඇති ස්ථානවල සිටුවනු ලබයි. මෙය වී, කුරක්කන් සහ ඇල්හේන් වගාවන්හි පණුරෝග සහ කොළ සුදුවීමේ රෝගය සඳහා භාවිතා කෙරේ.

පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001)  

 

  •  බුලත් වැල්වල මුලට ලුණු දියකළ වතුර ඉසිනු ලබයි. මෙම කෙම් ක්‍රමය බුලත් කෙ‍ාළ පුල්ලි දැමීම වැනි රෝග මර්ධනය සඳහා යොදා ගැනේ.
පාරම්පරික වී ගොවිතැන් ක්‍රම සහ දේශීය ජාන සම්පත (2001) 

 පොල් වගාවේ වේයන්ගෙන් සිදුවන හානිය වැළැක්විමට

  •  පොල් වගාවේ වේයන්ගෙන් සිදුවන හානිය වැළැක්විමට කළු හබරල කොජාගත් ඉස්ම හා එම රොඩ්ඩ පැල මුලට දැමිය යුතුය.

කේ.ජී. තාරකා සචින්තනී

 දළඹුවන්ගෙන් හා කුඩිත්තන්ගෙන් බෝග ආරක්ෂා කිරීමට

  •  දළඹුවන්ගෙන් හා කුඩිත්තන්ගෙන් බෝග ආරක්ෂා කිරීමට වල් දම් කොළ, පැපොල්, මිදෙල් පොතු, නිදිකුම්බා, වරා කොල, කල වැල්, වදකහ, කැප්පිටියා කොළ යන ඒවායින් දෙක තුනක් හෝ සියල්ලම ගෙන සබන් වතුරට මිශ්‍ර කොට ගොයමට හෝ අදාල බෝගයට ඉසින්න.

කේ.ජී. තාරකා සචින්තනී  

 වී බෝගයේ පුරුක් පත්‍ර රෝගය මර්ධනය සඳහා

  •  වී බෝගයේ පුරුක් පත්‍ර රෝගය මර්ධනය සඳහා ගැට තුඹ, බැලතණ, වද කහ, කළු හබරල යනාදිය සමසේ ගෙන ඉතා සිනිඳුවට අඹරා බෙහෙත් ගුලියක් ලෙස සකස් කොට කපු රෙදි කැබැල්ලක පොට්ටනියක් බැඳ වක්කඩේ තැබිය යුතුය.

කේ.ජී. තාරකා සචින්තනී   

 අලින්ගෙන් හේන ආරක්ෂා කිරීම සඳහා

  •  ගලායන දිය පහරකින් ජලය කඩා වැටෙන තැනකින් ගල් සහ වැලි ගෙන දැල්වූ අබ තෙල් පහන් 3 ක් හා සුදු මල් වට්ටි 3 ක් සහිත තට්ටුවක තබා සුවඳ දුම් අල්ලා ජල නන්දන පිරිතෙන් 108 වරක් ජීවම් කර හේන වටා වැලි ඉසිය යුතුය. මෙම වතාවත් කරන විට හිස සෝදා නා පිරිසිදු වී පිරුවට ඇඳ පන්සිල් ගෙන තෙරුවන් වැඳ සිටිය යුතුය.

 වංගල වාලිත්තං (2006)
කට්ටුඹුවාගම විජයපාල කුමාරසිංහ

 පොල් ගෙඩි හෝ මල් මීයන් කන විට

  •  පොල් ගෙඩි හෝ මල් මීයන් කන විට පොල් ගසෙහි කඳ දිගේ නාග රූපය ඇඳීමෙන් රෝගය වලක්වා ගත හැක.

 හේනේ විත්ති (1999)
පියසේන කහඳගමගේ

 පොල් වගාවට කුරුමිණියන් රෝගය වැළදී ඇති විට

  •  පොල් වගාවට කුරුමිණියන් රෝගය වැළදී ඇති විට එම පොල් වත්තේ බූරුවන් බැඳ දැමීම මඟින් රෝගය වළක්වා ගත හැක.

 හේනේ විත්ති (1999)
පියසේන කහඳගමගේ