හුලංකීරියා


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
ඈරුක්කා

ඉංග්‍රීසි නාමය :
Arrow root

උද්භිද විද්‍යාත්මක නාමය :
Maranta arundinacea

උද්භිද කුලය :
Marantaceae
ඖෂධීය හා පෝෂණීය ගුණ
ශරීරය පෝෂණය කරයි. සම්පූර්ණයෙන්ම පාහේ පිෂ්ට සහිතය. මෙහි ප්‍රෝටීනන් 2 % ක්ද , විටමින් අල්ප වශයෙන් හා කැල්සියම් සුළු ප්‍රමාණයක් අන්තර්ගත වේ. ප්‍රෝටින් ඉතාම අවම වශයෙන් අනුභව කල යුතු රෝගීන් හට පරිභෝජනයට ඉතාම සුදුසුය. ශරිරයේ ආම්ලික හා භාෂ්මික තුලිතතාව රැකීමට ඉවහල් වේ. ශරීරයේ ස්ථුලතාවය නැති කරයි. මළ ද්‍රවත්වයෙන් පිටවීම වළකයි. ලේ - සීදං සහිත අතීසාරය වලකයි. අර්ශස් සුව කරයි. එසේම රෝග සුව වීමෙන් පසුව ප්‍රථමව දෙන ආහාරයක් ලෙස හා ළදරු ආහාරයක් ලෙස මෙය ඉතා වැදගත්ය.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. හුලංකීරියා (අරළුක්) පිටි

  • පළමුව සෝද‍ා පිරිසිදු කරගත් හුලංකීරියා අල වංගෙඩියක දමා කොටා ගත යුතුය. දෙවනුව මැටි භාජනයක කම්බි ලේන්සුවක් කඩ පිම්මක් සේ බැඳ ඒ මතට කොටාගත් අල දමා ජලයෙන් සෝදා හොඳින් මිරිකා ගන්න. එහිදී කඩ පිම්ම මත රොඩු කොටස ඉතිරි වන අතර භාජනය පතුලේ පිටි මිදී තිබෙනු දැකගත හැකිය. මිදී ඇති පිටි වලට උඩින් ඇති ජලය ඉවත් කර එම පිටි රෙදි කැබැල්ලක ඔතා ගැටගසා එහි පවතින තෙත් ස්වභාවය ඉවත් වන තුරු ලිප අසලින් එල්ලා තබන්න. පසුව මඳ අව්වේ දමා වියලා ගන්න. මෙසේ සකස් කරගත් අරළුක් පිටි වියලි භානයක සුළං නොවදින සේ ගබඩා කර තබන්න.
මෙම පිටි කැඳ සෑදීමටත් වෙනත් කෑම වර්ග සෑදීමටත් ප්‍රයෝජනවත් වේ. ඖෂධ සංස්කරණයටද යොදා ගනු ලැබේ.

2. හුලංකීරියා කැඳ

  • අවශ්‍ය ද්‍රව්‍ය - හුලංකීරියා පිටි මේස හැඳි 02 , පොල් බෑයක කිරි , ගම්මිරිස් ඇට 03-04 , සුදුලූණු බික් 03-04 , අමු ඉඟුරු කැබැල්ලක් , ලුණු ස්වල්පයක්
  • සාදන ක්‍රමය -
  1. මැටි භාජනයකට පොල් කිරි හා අරළුක් පිටි (හුලංකීරියා පිටි) දමා මිශ්‍ර කරන්න. ඉන්පසුව එම මිශ්‍රණයට තලාගත් ගම්මිරිස්, අමු ඉඟුරු සහ සුදුලූණු මෙන්ම අවශ්‍ය පරිදි ලුණු එක් කරන්න. මිශ්‍රණය ලිප තබා රත් කරන්න. හොඳින් පොල් කිරි පැසුණු පසු ලිපෙන් බා ගන්න.

හුලංකීරියා කැද වයස අවුරුදු 10 ට අඩු දරුවෙකුට දිනකට දෙවරක්ද අවුරුදු 10 ට වැඩි ඕනෑම අයෙකුට දිනකට 04 වරක්ද ලබා දීමෙන් අධික පිටි ගතිය නිසා ඇති වූ අජීර්ණය සුව කිරීමට උපකාරී වේ.

3. අරළුක් කුඩු මිශ්‍ර ජලය

  • හුලංකීරියා අල කිලෝ එකක් පමණ ගෙන සෝදා කුඩා පෙති වලට කපා දින 02 ක් පමණ මද අව්වේ වියළා ගන්න. වියළා ගත් පෙති වංගෙඩියක දමා කොටා ගන්න. (අරළුක් පිටි මෙම ක්‍රමයෙන් ද සකසා ගත හැක.) එසේ සාදා ගත් අරළුක් පිටි මේස හැඳි 01 ක් පමණ පැහෙන උණු වතුර අඬු කෝප්පයකට දමා තැම්බෙන්නට හැර බීමට දෙන්න.
කුඩා දරුවෙකු නම් දිනකට එක් වරක්ද වැඩිහිටියෙක් නම් දිනකට 03-04 වරක්ද මෙය පානයට ගැනීමෙන් හිතකරය. මෙයින් මළ බුරුල්ව පිට වීම හා සීදන් යාම වළක්වයි.

4. හුලංකීරියා තලපය

  • අවශ්‍ය ද්‍රව්‍ය - අරළුක් පිටි 250 g , එළකිරි 1/2 , කිතුල් හකුරු 100 g
  • සාදන ක්‍රමය -
  1. අරළුක් පිටි, එළකිරි හා කුඩු බවට පත් කරගත් කිතුල් හකුරු සමඟ මිශ්‍ර කරන්න. ඉන්පසු ලිප තබා පැය භාගයක් පමණ හැඳි ගා, හුලංකීරියා තලපයක් ලෙස සකස් වුණු පසු ආහාරයට ගන්න.

දවසට එක් වතාවක් පමණක් මෙය ආහාරයට ගැනීම සෑහේ. වයස් සීමාවකින් තොරව මෙය ආහාරයට ගත හැක. මෙය අර්ශස් රෝගය සුව කිරීමට අනිකුත් ප්‍රතිකාර කරනු ලබන අතරතුරේ ලබා දිය යුතු ගුණදායක විශේෂ ආහාරයකි.

5. හුලංකීරියා පිටි ආහාරය
  • සාදන ක්‍රමය -
  1. හුලංකීරියා අල කිලෝ 1 ක්පමණ ගෙන සෝදා කුඩා පෙති වලට කපා දින 02 ක් පමණ මද අව්වේ වියළා ගන්න. හොඳින් වියළුණු හුලංකීරියා පෙති කැබලි වංගෙඩියක දමා කොටාගෙන පිටි බවට පත්කර ගන්න. එම පිටි මේස හැඳි 01 කට ඉතාම පිරිසිදු (කලවම් නැති) මීපැණි තේ හැඳි 02 ක් මුසු කරන්න.
මෙම ආහාරය දිනකට 03 වරක්පමණ ලබා දිය යුතු අතර වාරයක් 02 ක් දෙනු ලබන විට අතීසාරයත්, අතීසාරය සමඟ ලේ පිටවීමත් වළකයි.
6. හුලංකීරියා තම්බා දීම

  • අවශ්‍ය ද්‍රව්‍ය - හුලංකීරියා අල 500 g , ජලය අවශ්‍ය පමණ , ලුණු ස්වල්පයක්
  • සාදන ක්‍රමය -
  1. හුලංකීරියා අල හොඳින් සෝදන්න. හුලංකීරියා අලයේ උඩ පොත්ත රැස ගෙන ඒවා මැටි භාජනයකට දමා අල ටික වැසෙන පරිදි ජලය එකතු කරන්න. ඊට ලුණු ස්වල්පයක්ද මුසු කර පැය 1 1/2 ක් පමණ අල තම්බා ගන්න. අලය හොඳින් පොඩි වන්නේ නම් තැම්බී ඇති බව දැනගත හැක. මෙසේ තැම්බුණු හුලංකීරියා අලයේ ඝනකම් පොත්ත ඉවත් කර කෑමට ගන්න.

වයස් භේදයකින් තොරව ආහාරයට ගත හැක. දිනකට එක් වරක් බැගින් සතියට දෙතුන් වතාවක් ආහාරයට ගනී නම් පාචනය වැනි රෝග වැළඳිමේ අවධානම අඩු වේ. උදේ ආහාරයක් ලෙස ගත හැකි නම් වඩා සුදුසුය.

7. හුලංකීරියා පිටි කිරි
  • සාදන ක්‍රමය -
  1. වියළා සකස් කරගත් හුලංකීරියා පිටි තේ හැන්දක් රත් කළ එළකිරි අඩු කෝප්පයකට මුසු කර වෙනත් ආහාර ගැනීමට පෙර උදෑසනම පානය කරන්න.
ශරීරයේ බර සම තත්වයකට ගෙන ඒමේ අනිකුත් ව්‍යායාම සිදු කරන අතරතුරේ දිනපතා දිගු කාලීනව මෙය පානයට ගැනීම හිතකරය. අනවශ්‍ය ස්ථුල බව පාලනය කරන අතර ශරීරය පෘෂ්ටිමත් කරවයි.


(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")