සෙවෙල් අල


උද්භිද විද්‍යාත්මක නාමය :
Alocasia sp.

උද්භිද කුලය :
Araceae
ඖෂධීය හා පෝෂණීය ගුණ
හන්දි වියැළීම හා ශරීරයේ වියළි ස්වභාවය අවම කිරීම, රක්ත උෂ්ණය සුව කරවයි. ආහාර රුචිය ඇති කරවයි. දරු ගැබ ශත්කිමත් වීම.
අසාත්මිකතා
සෙවෙල් අල ඉතාමත් ගුණදායක වුව ද මෙය තද සීතල ගතියෙන් යුක්ත නිසා සෙම් රෝග පවතින අයට, ආහාරයට ගැනිමේ දී දවල් ආහාර වේල සඳහා එකතු කරගත හැක.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. සෙවෙල් අල විශේෂ ආහාරය

  • සෙවෙල් අලයක් සුද්ධ කර සිහින් පෙතිවලට කපා ගෙන කබලෙන් මඳ ගින්නේ විනාඩි 10 ක් පමණ බැද ගන්න. පසුව එම බැදගත් සෙවෙල් අල පෙති තල තෙලින් තෙම්පරාදු කර ගන්න. (තල තෙලින් තෙම්පරාදු කරනුයේ කසන ගතිය අවම කිරීමටය.) ඉන්පසු එයට එළඟි තෙල් හා මී පැණි ස්වල්පය බැගින් සම සමව දමා හොඳින් අඹරා ගන්න. මෙයින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයේ ගුලියක් කෑමට පෙර දිනපතා දෙනු ලැබීමෙන් හන්දි වියළීම සුව වෙයි.

2. සෙවෙල් අල  ව්‍යාංජනය

  • අවශ්‍ය ද්‍රව්‍ය  - සෙවෙල් අල  500 g , තුනපහ තේ හැඳි 02 ක් , මිරිස් කුඩු තේ හැඳි 03 ක් , සුදුලූණු බික්  02 ක් , රතුළූණු 03-04 ක් , ගොරකා කැබලි 03 ක් , කහ ලුණු ස්වල්පයක් , රම්පේ , කරපිංචා,  අමුමිරිස් කරල් 03-04 , පොල් බෑයක කිරි
  • සාදන ක්‍රමය -
  1. කසන ගතිය පවත්නා නිසා පොල් මුඩුවකින් පස් ඉවත් කර සෙවෙල් අල  උණු වතුරෙන් සෝදා ගත හැක. පසුව සෝදාගත් අල සුද්ධ කර කැබලි වශයෙන් කපා ගන්න. මිරිස් කුඩු, තුනපම, ලියාගත් රතුළූණූ, සුදුලූණූ, අමුමිරිස්, කහ මෙන්ම රම්පේ, කරපිංචා හා අවශ්‍ය පමණින් ලුණු ස්වල්පයක්ද එකතු කර, පොල් බෑයක කිරිද එයට මුසු කර හොද්දක් සකස් කර ගන්න. මෙම හොදද්ට අනිවාර්යෙන්ම තලාගත් ගොරකා කැබලි 02-03 ක් එකතු කල යුතුය. මන්ද සෙවෙල් ගතිය යම් තාක් දුරකට මර්ධනය කිරීමටයි. මෙම හොද්ද ලිප තබා විනාඩි 15 ක් 20 ක් පමණ පැසෙන්නට හැර හොද්ද පැසී එන විට එයට සෙවෙල් අල  කැබලි දමා තැම්බෙන්නට හැරිය යුතුය.
ඕනෑම අසාධ්‍ය තත්වයකින් පසුවන ලෙඩෙකුට ආහාර ගිලීමට පහසු කරවන නිසා ඕනෑම රොගියෙකුට සුදුසුය. ශරීරයේ පවත්නා අධික උෂ්ණ ස්වභාවය අවම කරයි. පිළිකා වැනි රෝග පවතින අයට වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව මෙම අල ආහාරයට ගත හැක.


3. සෙවෙල් අල  ගොබ ව්‍යාංජනය

  • අවශ්‍ය ද්‍රව්‍ය  - සෙවෙල් අල  ගොබ මිටියක් , පොල් බෑ 1 1/2 ක කිරි , මිරිස් කුඩු තේ හැඳි 01 ක් , කහ   ස්වල්පයක් , සරක්කු තේ හැඳි 01 ක් , රම්පේ කරපිංචා ඉති 02-03 ක් , උම්බලකඩ , රතුළූණු ගෙඩි 04-05 ක්, අමුමිරිස් කරල් 03-04 ක්
  • සාදන ක්‍රමය -
  1. සෙවෙල් අල  ගොබ අමුවෙන් හෝ දින 02-03 ක් මැලවෙන්නට හැර හෝ යන දෙයාකාරයටම ව්‍යාංජනයට ගත හැක. සෙවෙල් අල  ගොබ මිටිය සෝදා හීනියට කපා ගන්න. මැටි භාජනයකට පොල් කිරි, තුනපහ, උම්බලකඩ, ලියාගත් රතුළූණු හා අමුමිරිස්, කහ, මිරිස් කුඩු, රම්පේ කරපිංචා දමා මිනිත්තු 30 ක් පමණ හොද්ද පැස්සවා ගන්න. හොද්ද පැසුණු පසු කපාගත් ගොබ කොළ ටිකත දමා තවත් මින්ත්තු 30 ක් පලමණ මද ගින්නේ තැමිබෙන්නට හරින්න. මෙය ව්‍යාංජනය රත් කර තබා ගතහොත් සතියක් 02 ක් වුවත් කල් තබාගෙන ආහාරයට ගත හැක.

ශරීර උෂ්ණත්වය අඩු කරන ආහාරයක් වශයෙන් මෙම සෙවෙල් අල  ගොබ ව්‍යාංජනය හා සෙවෙල් අල  ව්‍යාංජනය සතියකට 02 වරක් ආහාරයට හසු කර ගැනීම යෝග්‍ය වේ. එහෙත් ශරීර උෂ්ණත්වය අධික අය ආහාරයට ගැනීම වඩා හිතකරය.


4. සෙවෙල් අල  තම්බා දීම

  • අවශ්‍ය ද්‍රව්‍ය  - සෙවෙල් අල  1 Kg , ලුණු ස්වල්පයක් , ගොරකා කැබලි 04 ක් , අවශ්‍ය පරිදි ජලය ,                     පොල් බෑයක ගා ගත් පොල්

  • සාදන ක්‍රමය -
  1. මැටි භාජනයකට ජලය එකතු කොට උණු වීම සඳහා ලිප තබන්න. පොතු ඉවත් කල සෙවෙල් අල  පැසෙන ජලය සහිත භාජනයකට දමන්න. මෙම භාජනයට තලාගත් ගොරකා සහ අවශ්‍ය පරිදි ලපුණු එකතු කර මිනිත්තු 20 ක් තම්බා ගන්න. පසුව පෙරා ඉවත් කර පොල් සමඟ ආහාරයට ගන්න.

මෙම සෙවෙල් අල  මාස 1 1/2 ක් 02 ක් ගර්භණී මවුවරුන්ගේ ආහාර රුචිය ඇති කරවන අතර දීර්ඝ කාලීනව දරුවන් නොමැතිව සිට පිළිසිඳගත් දරු ගැබ ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම එවැනි අයෙකුට සෙවෙල් අල  ආහාරයට දීමෙන් සිදු වේ. මෙහිදී දරු ගැබ මාස 03 ක් ඉක්මවූ පසු සෙවෙල් අල  සතියකට දෙවරක් වත් ආහාරයට ලබා දීම සුදුසුය.



(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")