කටු අල


උද්භිද විද්‍යාත්මක නාමය :
Dioscorea pentaphylla

උද්භිද කුලය :
Dioscoreaceae
ඖෂධීය හා පෝෂණීය ගුණ
ආහාර ජීර්ණ පද්ධතියේ පවතින රෝග සුව කරයි. ශරීරයේ පිෂ්ට ධාතුව වර්ධනය කර ශරීරයට අවැසි ශක්තිය ලබා දේ.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. කටු අල ව්‍යාංජනය

  • අවශ්‍ය ද්‍රව්‍ය - කටු අල 500 g , මිරිස් කුඩු තේහැඳි 02 ක් , ලුණු ස්වල්පයක් , තුනපහ කුඩු තේ හැඳි 01 ක් සුදුලූණු බික් 03-04 ක් , කහ ස්වල්පයක් , ගම්මිරිස් ඇට කිහිපයක් , කොච්චි කරල් 07-08 ක් , රතුළූණු ගෙඩි 05-06 ක් , මිටි කිරි ස්වල්පයක් , ජලය අවශ්‍ය පමණ , ගා ගත් පොල් ස්වල්පයක් , කරපිංචා
  • සාදන ක්‍රමය -
    1. කටු අල සුද්ධ කර කැබලිවලට කපා ගෙන මැටි භාජනයකට දමා එයට අවශ්‍ය පමණ ජලය, ලුණු දියර හා කහ එකතු කොට මිනිත්තු 30 ක් පමණ තැම්බෙන්නට හරින්න. සුදුලූණු, කරපිංචා, ගම්මිරිස්, ගා ගත් පොල්, කොච්චි හා රතුළූණු එකතු කොට සිනිඳු වන සේ අඹරා ගන්න. අඹරා ගත් මිශ්‍රණය තැම්බුණු අලවලට එකතු කර මිටිකිරි ස්වල්පයක්ද ඊට මුසු කොට මඳ ගින්නේ මිනිත්තු 15 ක් පමණ තැම්බෙන්නට හරින්න.

වයස් භේදයකින් තොරව ආහාරයට ගත හැකි ව්‍යාංජනයකි. ආහාර ජීර්ණ පද්ධතියේ පවතින රෝග සුව කිරීමට උපකාරයක් වශයෙන් සතියකට වැඩි වාර ගණනක් මෙම ව්‍යාංජනය ආහාරයට හසු කර ගැනීම සුදුසුය.

 
2. කටු අල විශේෂ ආහාරය

  • කටු අලයක් ගෙන පස් ඉවත් කර සෝදා ඉවත් කරන්න. කටු අලය කුඩා පෙතිවලට කපා මඳ අව්වේ දින 02-03 ක් වියළා ගන්න. වියළා ගත් පෙති මිනිත්තු 10-15 ක් පමණ කබලේ බැඳ වංගෙඩියට දමා කුඩු කර ගන්න. එම කටු අල පිටි තේ හැඳි 02 ක් පමණ මී පැණි තේ හැඳි 01 ක් සමඟ කලවම් කරන්න.
මෙයින් දිනකට තුන් වතාවක් කෑමට පෙර කළං 02 බැගින් ආහාරයට දීමෙන් ශරීරය පෘෂ්ටිමත් කරවයි.


(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")