රැල්බුරුල්ලා


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
තඩල , පෙට්ටගම් , ගුරළ , යකුටල , කමත් අල

උද්භිද විද්‍යාත්මක නාමය :
Alocasia sp.

ඖෂධීය හා පෝෂණීය ගුණ
අස්ථි වේදනා , හන්දිපත් කැක්කුම් හා හන්දි වියළීම් සුව කරයි. මළපහ යාම පහසු කරයි. ශරීර උෂ්ණ ස්වභාවය අඩු කරයි.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. රැල්බුරුල්ලා විශේෂ ව්‍යාංජනය

  • අවශ්‍ය ද්‍රව්‍ය - රැල්බුරුල්ලා අලය සහ කරල 250 g , රතුළූණු ගෙඩි 06 ක් , ගම්මිරිස් ඇට 10 ක් , සුදුළූණු බික් 02 , එළඟිතෙල් තේ හැඳි 02
  • සාදන ක්‍රමය - රැල්බුරුල්ලා අලය සහ මෑ කරලක් වැනි දිගටි කරල සෝදා සුද්ධ කර ගන්න. (කරලෙහි රේණු ඉවත් කර ගන්න.) අලය සහ කරල හීනියට කැබලිවලට කපා මැටි භාජනයකට දමන්න. බැදගත් රතුළූණු, ගම්මිරිස් හා සුදුළූණු කුඩු කර කැපූ රැල්බුරුල්ලා කැබලි හා මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය එළඟිතෙලෙන් තෙම්පරාදු කර ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගන්න.

මෙවන් රැල්බුරුල්ලා ව්‍යාංජනයක් නිරන්තරයෙන් ආහාරයට හසු කර ගැනීමෙන් අස්ථි වේදනා, හන්දිපත් කැක්කුම් හා හන්දි වියළීම් සුව කරයි.
 
2. කිරි අල පිති සහ කොළ සම්බලය

  • අවශ්‍ය ද්‍රව්‍ය - පොල් බෑයක කිරි , රම්පේ , කරපිංචා ඉත්තක් , රැල්බුරුල්ලා කරල් 500 g , කහ ස්වල්පයක් , මිරිස් කුඩු තේ හැඳි 03-04 ක් , තුනපහ කුඩු තේ හැඳි 03 ක් , රතුළූණු ගෙඩි 05-06 ක් , ගොරකා කැබැල්ලක් , ලුණු තේ හැඳි 02 ක් , අමුමිරිස් කරල් 04 ක්
  • සාදන ක්‍රමය - රැල්බුරුල්ලා කරල ගලවා එම වැලෙන් අල්ලා අඹරන්න. එවිට පොත්ත ගැලවේ. එම කරල හොඳට සෝදා වැලි හැර අඟල් 1 1/2 කුඩා කැබලිවලට කඩා ගන්න. ඉන්පසු කහ, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගොරකා, රම්පේ, කරපිංචා, ලියාගත් රතුළූණු, අමුමිරිස්, ලුණු හා පොල් කිරි මැටි භාජනයකට දමා හොද්ද සාදා ගන්න. මෙසේ සකසා ගත් හොද්ද ලිප තබා ඇඹුල් ස්වභාවයෙන් යුක්තව පැහීගෙන එන විට රැල්බුරුල්ලා දමා නැවතත් තම්බා ගන්න. මෙසේ කැබලි වල ගෑවෙන නොගෑවෙන තරමට මද ගින්නේ ව්‍යාංජනය හින්දා ගන්න. රැල්බුරුල්ලා ව්‍යාංජනය පිසීමේදී එහි රසය ආරක්ෂා කර ගැනීමට නම් කැබලි හොඳින් පොඩි නොවිය යුතුය. රැල්බුරුල්ලා පිසීමට සුදුසු වන පරිදි සකස් කළවිට ව්‍යංජනය පිසීමට ගත වන්නේ මිනිත්තු 10-15 ක් පමණි.

මෙසේ සාදාගත් රැල්බුරුල්ලා අඛණ්ඩව ආහාර වේල් 2-3 කට හසු කරගත් විට වඩාත් හොඳින් මළපහ යාම හා ශරීරයේ උෂ්ණ ස්වභාවය යම් පමණකින් අඩු කිරීම සිදු වේ.


(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")