කිඩාරන්


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
පිඩාරන්

උද්භිද විද්‍යාත්මක නාමය :
Amorphophallus paeonifolius

උද්භිද කුලය :
Araceae

සුදු කිඩාරන් / මහ කිඩාරන්

වල් කිඩාරන් / පොළොන් කිඩාරන්

බෙහෙත් කිඩාරන්

ඖෂධීය හා පෝෂණීය ගුණ
  • සුදු කිඩාරන් / ඉන්දියන් කිඩාරන් -
    ශරීරයේ පවතින දැඩි උෂ්ණත්වය අවම කිරීම. නාග විෂ වැනි දරුණු විෂ නැති කරයි. වැඩිහිටි කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යාමේ රෝගය (ඇට මිදුළු දියවී යාම) සුව වේ. අර්සස් රෝගය සුව කිරීමට උපකාරී වේ. අර්සස්වලින් බඩවැල මෑත් වීම හා අර්සස් රෝගය වැළඳීමෙන් ආරක්ෂා කරවයි.
  • වල් කිඩාරන් / පොළොන් කිඩාරන් - 
    රත් පිත් දාහය / ශ්ලේස්මාවෙන් හට ගන්නා රොග නිවාරණය කරයි. ආහාර රුචිය වඩයි. ඇසේ හට ගන්නා සියලු රෝග නසයි. ඕනෑම සර්ප විෂක් නැති කරයි.
  • බෙහෙත් කිඩාරන් -
    අර්සස් ගෙඩි සුව කිරීම
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
සුදු කිඩාරන් / ඉන්දියන් කිඩාරන්


1. කිඩාරන්  තැමිබීම

  • සාදන ක්‍රමය - 
    1. පළමුව කිඩාරන් අලය සුද්ධ කර කැබලි වලට කපා ගන්න. කහට රසය ඉවත් කිරීම සදහා දෙහි ගෙඩියක යුෂ දැමූ වතුරෙන් දෙවරක් පමණ අල ටික සෝදා ගන්න. මැටි භාජනයකට කිඩාරන් අල කැබලි දමා කැබලි වැසෙන පමණට ජලය එකතු කරන්න. ලුණු තේ හැන්දක්, තලා ගත් ගොරකා කැබැල්ලක් සහ ගලේ අඹරාගත් අමු කහ කැබැල්ලක්ද එයට එකතු කර ලිප තබන්න. (කහ තුළින් කිඩාරන්වල යම් විෂක් පවතී නම් එය කැපී යාම මෙන්ම පැහැයක් එකතු කිරීමද සිදු වේ.  එසේම කිඩාරන් රොස් වීම වේගවත් නිසා අල තම්බන විට භාජනය පතුළට කෙසෙල් කොළ ස්වල්පයක් ඇතිරීම වඩා හිතකරය.) රොස් වීමේ වේගය අඩු කිරීම සඳහා භාජනය සොලවන්න. මිනිත්තු 30 කට පමණ පසු හැඳි මිටෙන් හෝ ඉරටු කූරකින් ඇන, හොඳින් අල පොඩි වේදැයි බලා අල හොඳින් තැම්බී ඇති දැයි දැන ගන්න. කිඩාරන්වල දිය හැර ගත් පසු පොල් ගා ලුණු මිරිස් සමඟ උදේ ආහාරයටකට කදිමය.
මෙසේ දෙතුන් වාරයක් කිඩාරන් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයේ උෂ්ණත්වය පාලනය වේ. මෙයට ගැළපෙනුයේ උෂ්ණයට උෂ්ණය කැපී යන න්‍යායයි.

මෙම අල නිතරම ආහාරයට ගැනීමෙන් අර්සස් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වේ. කුඩා දරුවන්ට මෙම අලවල පවතින උෂ්ණාධික බව නිසා දෙනු නොලැබේ. ඒ අනුව වයස අවුරුදු 05 ට වැඩි ඕනෑම අයෙකුට ආහාරයට ගැනීම සුදුසුය.



2. සුදු කිඩාරන් ආලේපය

  • සාදන ක්‍රමය - කිඩාරන් අල කැබැල්ලක් සෝදා සුද්ධ කර කුඩා කැබලිවලට කපා ගන්න. මෙම අල කැබලි සමග අමු කහ කැබැල්ලක් මිටි කිරෙන් මිනිත්තු 20 ක් පමණ තම්බා ගන්න. ඉන්පසු තම්බා ගත් ද්‍රව්‍ය සිනිඳු වන සේ අඹරාගන්න.

නාගයෙකු දෂ්ට කළ විට එම ස්ථානයේ මෙය ආලේප කරන්න. මෙසේ සර්ප විෂ අවම වන තුරු දිනකට වාර 03 බැගින් මෙය ආලේප කරන්න. කිඩාරන් වල සැර ස්වභාවය නිසා නාග විෂ වැනි දරුණු විෂ අවම කරයි.



3. කිඩාරන් හා අළු කෙසෙල් ගුලිය

  • සාදන ක්‍රමය - කිඩාරන් අලය සුද්ධ කර සිහින් පෙති වලට කපා මද පවනේ දින 02 ක් පමණ වියළා ගන්න. එම වියළා ගත් පෙති වනේ දමා කොටා කුඩු බවට පත් කරගන්න. අළු කෙසෙල් ගෙඩියේ  මදයද මෙලෙස සිහින් පෙතිවලට කපා මද අව්වේ දිනක් පමණ වියළා ගන්න. වියළි අළු කෙසෙල් පෙතිද වනේ දමා කොටා කුඩු බවට පත් කර ගන්න. අළු කෙසෙල් කුඩු හා  කිඩාරන් කුඩු සම සමව ගෙන මිශ්‍ර කර මීපැණියෙන් සිනිඳුව අඹරා ගන්න. ඉන්පසු කුඹුරු ඇට ප්‍රමාණයේ ගුලියක් සාදා උදේට සහ සවසට රෝගය සුව වෙන තුරු කැමට පෙර දෙන්න.

වැඩිහිටි කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යාමේ රෝගය (ඇට මිදුළු දියවී යාම) මින් සුව වේ.



4. කිඩාරන් අල බෙහෙත් චූර්ණය

  • සාදන ක්‍රමය - කිඩාරන් අලය සුද්ධ කර ලෙතිවලට කපා මඳ අව්වේ දින 02 ක් පමණ වියළා ගන්න. වියළා ගත් අල පෙති වනේ දමා කොටා පිටි බවට පත් කර ගන්න. කිඩාරන් අවුන්ස 10 ක් පමණ ද, වේලා කුඩු කර ගත් බදුල්ල වැල්, අරළු සහ බුළු කලං 04 බැගින්ද ගන්න. ඉහත සියලුම ද්‍රව්‍ය මී පැණියෙන් සිනිඳු වන සේ අඹරා ගන්න.

අර්සස් රෝගය සුව කිරීම සඳහා මෙම ඖෂධයෙන් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයට දිනකට දෙවාරයක් බැගින් වරු 30 ක් යන තෙක් ලබා දෙන්න. මෙය අර්සස් රෝගයට සිදු කරන අනෙකුත් ප්‍රතිකාර අතරේ ලබා දිය යුතු ඔසුවක් පමණි. රෝගය යම් තරමකට පාලනයට මෙම ඖෂධය උපකාරි වේ.



5. කිඩාරන් අච්චාරුව
  •  අවශ්‍ය ද්‍රව්‍ය - කිඩාරන් 250 g , එළඟිතෙල් අවුන්ස 01 , බැද කුඩු කර ගත් සුදුළූණු කළන් 12 , තිප්පිලි කළන් 12 , විනාකිරි ස්වල්පයක්
  • සාදන ක්‍රමය - කිඩාරන් අලය සෝදා සුද්ධ කර සිහින්ව කපා ගන්න. කපා ගන්නා ලද කිඩාරන් කැබලිවලට එළඟිතෙල්, බැද කුඩු කර ගත් සුදුළූණු හා තිප්පිලි මිශ්‍ර කර විනාකිරි ස්වල්පයක්ද එකතු කරන්න. මෙම මිශ්‍රණය දින 21 ක් යන තෙක් තැම්බෙන්නට හරින්න.

අර්සස් රෝගය ඇති අය මෙයින් දිනකට වේල් 03 ක් කළන් 05 බැඟින් අනෙකුත් ආහාර සමඟ කෑමට ගන්න. අර්සස් අමාරුව සුව වේ.



6. කිඩාරන් ව්‍යාංජනය
  • අවශ්‍ය ද්‍රව්‍ය - කිඩාරන් අල 500 g , සුදුළූණු බික් 04 ක් , කහ, ලුණු අවශ්‍ය පරිදි , රතුළූණු ගෙඩි 04 ක් , තුනපහ තේ හැඳි  1/2 , පොල් බෑයක කිරි , කොච්චි කරල් 4-5 ක් , ගම්මිරිස් ස්වල්පයක් , ගොරකා කැබලි 04 ක් , ගා ගත් පොල් මේස හැඳි 02 ක් , රම්පේ , කරපිංචා

  • සාදන ක්‍රමය -
    1. කිඩාරන් අලය පොතු හැර සෝදා කපා ගන්න. මැටි භාජනයකට දියකිරි, කහ, ගොරකා. ලුණු, රම්පේ, කරපිංචා, තුනපහ සහ කපා ගත් අල දමා මිනිත්තු 20 ක් පමණ ලිප ලිප තබා තැම්බෙන්නට හරින්න. ලියා ගත් සුදුළූණු, රතුළූණු, කොච්චි හා ගා ගත් පොල් කබලකට දමා මිනිත්තු 05 ක් පමණ බැඳගෙන එය සිනිඳු වන සේ අඹරා ගන්න. අඹරා ගත් මිශ්‍රණය මිටි කිරි සමඟ ලිප මත ඇති අලවලට දමා මිශ්‍ර කර මිනිත්තු 10 ක් පමණ මඳ ගින්නේ තබා බිම තබන්න.


කිඩාරන් ව්‍යාංජනය සතියකට වතාවක් හෝ ආහාරයට ගනී නම් අර්සස් රෝගය වැළඳීමේ අවදානමෙන් ආරක්ෂා වන අතර අර්සස් වැළඳී ඇති අයට හා අර්සස් වලින් බඩවැල මෑත් වූ අයට සතියකට දෙවතාවක් වත් ආහාරයට ගැනීමෙන් රෝගය යම්තාක් සුව කර ගත හැක. වයස අවුරුදු 08 න් ඉහළ දරුවන්ට හා වැඩිහිටියන්ට සුදුසුය.



(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
වල් කිඩාරන් / පොළොන් කිඩාරන්


1. වජ්‍ර කාන්ති තෛලය

  • සාදන ක්‍රමය - 
    1. වල් කිඩාරන් අල යුෂ හා බැබිල යුෂ නැලි 02 බැඟින් ද තැඹිලි වතුර නැලි 04 ක් ද එළකිරි නැලි02 ක් ද ගෙන මිශ්‍ර කර ලිප තබා හොඳින් පැසවනු. කල්කයට දේවදාර, වදකහ, කලාඳුරු අල, සත කුප්ප, සිද්දි ගුරු, වෙනිවැල් ගැට, කොට්ටං, අබ, එනසහල්, කුරුඳු පොතු, නාමල් රේණු, නඳුන්, පොර අරටු, නෙළුම් රේණු  යන ඔසු කළන් 03 බැඟින් ගෙන අඹරා ගන්න. මෙම මිශ්‍රණය පෙර පැස්සවන තෙලට යොදන්න. මෙසේ මෙම ඖෂධය තුන් රැයක් මඳ ගින්නේ කකාරා රන් වන් පැහැති වූ පසු ලිපෙන් බාගෙන නිවෙන්නට හැර තෙල් පදම බලා පෙරන්න.
මෙම තෛලය භාවිතයෙන් රත් පිත් දානය / ශ්ලේස්මාවෙන් හට ගන්නා රෝග නිවාරණය කරයි. ආහාර රුචිය වඩයි. ඇසේ හට ගන්නා සියලු රෝග නසයි. (මෙය බීමට දිය හැකි තෛලයකි. සීනි, සුදු හකුරෙන් හෝ උණු දියෙන් දිය හැක. හිස ගල්වන්නේ නම් සත් දිනකින් ස්නානය කරන්න.)

2. මැල්ලුම

  • සාදන ක්‍රමය -
    1. සුද්ධ කර කැබලිවලට කැපූ වල් කිඩාරන් අල සහ කොළ, රුක් අත්තන කොළ සහ පොතු, කොබෝමැල්ල පොතු, වැල් කැප්පෙටියා කොළ සහ පොතු සම සමව ගන්න. එම ද්‍රව්‍ය වලට අමු කහ කැබැල්ලක් සහ ලුණු ස්වලපයක් ද දමා වංගෙඩියෙන් කොටා ගන්න. මද ගින්නේ මිනිත්තු 05 ක් පමණ ඉහත කී මිශ්‍රණය මලවා ගන්න.
මෙය පොළොන් විෂට ප්‍රතිකාරයකි. ඉහත සඳහන් මැල්ලුම පොළඟා කෑ ස්ථානයේ තබා බඳින්න. මෙසේ වරු 03 ක් පමණ බැඳීමෙන් පොළොන් විෂ නැති වේ.



3. කිඩාරන් අල මිශ්‍රිත ආලේපය

  • සාදන ක්‍රමය - වල් කිඩාරන් අල, බේදුරු අල හා කළු හබරල අල සුද්ධ කර සම ප්‍රමාණයෙන් ගන්න. මෙම අල වර්ග පිරිමි මූත්‍රයෙන් සිනිඳු වන සේ අඹරා ගන්න.

මෙයින් ඕනෑම සර්ප විෂක් නැති කරයි. වියැළෙන්නට හැර නැවත නැවත ආලේප කරන්න. ස්නානය අගුණය.



(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
බෙහෙත් කිඩාරන්


1. කිඩාරන් ධූමය

  • සාදන ක්‍රමය -
    1. කිඩාරන් අලය පෙති කපා මඳ අව්වේ දින 02 ක් පමණ වියළා ගන්න. එම වියළා ගත් පෙති දුම් අඟුරු කබලක දමා මිනිත්තු කිහිපයක් පුළුස්සා ගන්න.


මෙයින් එන දුම අර්සස් ගෙඩි ඇති ස්ථානවලට අල්වන්න. අර්සස් ගෙඩි සුව වේ. මෙසේ දිනකට තෙවරක් එක වරකට මිනිත්තු 05 ක් පමණ බැඟින් කරවන්න.


2. කිඩාරන් තෛලය

  • අවශ්‍ය ද්‍රව්‍ය - කිඩාරන් අලය , පස් කුළු බඩු
  • සාදන ක්‍රමය -
    1. මෙම තෙල සිඳීමට පෙර ඒ සඳහා වෙනම වූ ස්ථානයක පැළක් තැනිය යුතුය. එම පැළේ උඩු වියන් බැඳ පිරිමි අයගේ සහභාගීත්වයෙන් සිදු කිරීම මෙහි විශේෂත්වයයි. මීළඟට කිඩාරන් අලය පොතු හැර කහ වතුරින් සෝදා කැබල් කපා මැටි භාජනයකට දමන්න. අනෙකුත් බෙහෙත් ඖෂධ ද සම ප්‍රමාණයෙන් යොදා නව ගෙයෙහි සෑදු ලිපක් මත තබා මෙය කකාරවන්න. ලිප වටා සුවඳ දුම් ඇල්ලීම, කපුරු, හඳුන්කූරු දැල්වීම වැනි වතාවත් සිදු කෙරේ. මෙය රාත්‍රිය පුරාවටම සිදු කළ යුත්තකි. තෙල් ලැබෙන තුරු කකාරවයි.

මෙම තෙලින් අර්සස් ගෙඩි සුව කරවයි. තෙල් අර්සස් ගෙඩි මත ආලේප කිරීමේදී එය වෛද්‍යවරයෙකු හෝ වෙදකම් දන්නා පුද්ගලයෙකු මඟින්ම කළ යුතුය. දිනකට එක් වරක් බැඟින් වයස අවුරුදු 15 න් ඉහළ අය සඳහා මෙම ඖෂධය ගැල්වීම සුදුසුය.



(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")