දන්දින


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
දන්දින / ලේන පහුරු / ලේ දන්ත / දන්දිල

උද්භිද විද්‍යාත්මක නාමය :
Dioscorea alata

උද්භිද කුලය :
Diascoreaceae

ඖෂධීය හා පෝෂණීය ගුණ
  • අධික රුධිර පීඩනය පාලනය කරයි. පොතු කබර රෝගය සුව කරයි. ශරීර ශක්තිය වර්ධනය කිරීම සහ කාන්තාවන්ගේ කේශ කලාපය වර්ධනය කරයි.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. දන්දින කැඳ
  • අවශ්‍ය ද්‍රව්‍ය - දන්දින අල 500 g , පොල් ගෙඩියක කිරි , සුදුළූණු බික් 05 , රම්පේ , කරපිංචා කිණිත්තක්, ලුණු අවශ්‍ය පරිදි , අමු ඉඟුරු කැබැල්ලක්
  • සාදන ක්‍රමය -
    1. පළමුව දන්දින අල ජලය සහිත මැටි භාජනයකට දමා මිනිත්තු 30 ක් පමණ තම්බාගෙන හොඳින් පොඩි කර ගන්න. ගම්බා පොඩා කළ දන්දින අල නැවත මැටි භාජනයකට දමා එයට පොල් කිරි, තලාගත් සුදුළූණු, අමු අඟුරු සමඟ ලුණු, රම්පේ හා කරපිංචා එකතු කරන්න. මෙම භාජනය මිනිත්තු 20 ක් පමණ ලිප තබා පොල් කිරි හොඳින් පැසුණු පසු රොස් වීමට පෙර ලිපෙන් ඉවතට ගන්න.
අධි රුධිර පීඩනය වැළඳුණු අයෙක් සතියකට දෙවතාවක්වත් උදෑසන ආහාරයක් ලෙස දන්දින කැඳ ආහාරයට ගනී නම් අධි රුධිර පීඩනය යම් තරමකට පාලනය කර ගත හැක.


2. දන්දින කෂාය

  • අවශ්‍ය ද්‍රව්‍ය - අරළු , කොහොඹ මුල් , නෙල්ලි , දන්දින අල , වෙනිවැල් ගැට , සුදුළූණු , රත් හඳුන් , සිද්ධි ගුරු , ඇහැළ පොතු , කොත්තමල්ලි

  • සාදන ක්‍රමය -
    1. දන්දින අල, අරළු, නෙල්ලි, වෙනිවැල් ගැට, රත් හඳුන්, ඇහැළ පොතු, කොහොඹ මුල්, සුදුළූණු, සිද්ධි ගුරු හා කොත්තමල්ලි යන ද්‍රව්‍ය කළන් 1 1/2 බැඟින් සම සමව ගන්න.
    2. පොතු කබර රෝගය සුව වීමට මෙම සියලුම ද්‍රව්‍යය අට එකට සිඳුවා පෙරා කෂාය හැලි 04 ක් සීනි හා මී පැණි ස්වල්පයක්ද එයට එකතු කර බීමට ගන්න. දින 03 කට පසු ස්නානය කරන්න. ස්නානයෙන් පසු මඳ අව්වේ මිනිත්තු 15 ක් පමණ හිඳ තෙත මාත්තු කරන්න.


3. දන්දින සුප්

  • අවශ්‍ය ද්‍රව්‍ය - දන්දින අල 1 Kg , ජලය , ලුණු , පොල්තෙල් ස්වල්පයක් , රතුළූණු 100 g , කල් කිරි හෝ පිටිකිරි , ලීක්ස් ගසේ සුදු කොටස 100 g
  • සාදන ක්‍රමය -
    1. පළමුව මැටි බඳුනකට පොල්තෙල් ස්වල්පයක් දමා ලිප තබන්න. පොල්තෙල් රත් වූ පසු එයට ලියාගත් රතුළූණු, සිහින්ව කපා ගත් ලීක්ස් එකතු කරන්න. දන්දින  අලවල පොතු හැර හොඳින් සෝදා කැබලි කපා ගන්න. එසේ කපා ගත් අල කැබලි ලීක්ස් බඳුනට දමා ජලය එකතු කර මිනිත්තු 30 ක් පමණ තම්බා ගන්න. පසුව තම්බා ගත් ද්‍රව්‍ය සියල්ල අඹරා එයට ලුණු මුසු කර රත් කළ කල් කිරි හෝ පිටි කිරි එකතු කර පානයට ගන්න.

ශරීර ශක්තිය වර්ධනය කිරීම සහ කාන්තාවන්ගේ කේශ කලාපය වර්ධනය මෙයින් සිදු වේ.
දන්දින සුප් ගුණදායි ආහාරයකි. වයස් භේදයකින් තොරව ගත හැක. දිනකට එක් වතාවක් බැඟින් දිනක් හැර දිනක් හෝ දන්දින වලින් සැකසූ කුමන හෝ ආහාරයක් භාවිතයට ගනී නම් වඩාත් ගුණදායක හා ඵල දායක වේ.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")