ඉසුරු අල


දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
ඉසුරු දේසාල / රතු ඉරි කිරි අල


උද්භිද විද්‍යාත්මක නාමය :
Colocasia sp.

ඖෂධීය හා පෝෂණීය ගුණ
  • පිෂ්ටය අධික හෙයින් ශරීර ශක්තිය ලබා දීම. අධි පෝෂණයෙන් යුතු වීම / සිහින් සිරුරක් ඇති අයට සහ අඩු පෝෂණ තත්ත්වයෙන් යුතු අයට ඉතා යෝග්‍ය වේ.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. කිරි අල ව්‍යංජනය

  • අවශ්‍ය ද්‍රව්‍ය - කිරි අල 250 g , ගම්මිරිස් ඇට 10-12 , සුදුළූණු බික් 02 , රතුළූණු ගෙඩි 04-05 ක් , මිරිස් කුඩු මේස හැඳි 1/2 , තුනපහ කුඩු මේස හැඳි 1/2 , ලුණු ස්වල්පයක් , පොල් බෑයක කිරි
  • සාදන ක්‍රමය -
    1. කිරි අල සුද්ධ කර දෙතුන් වරක් පමණ සෝදා කැබලිවලට කපා ගන්න. ගම්මිරිස් සහ එහි සැර අඩු වී යාමට සුදුළූණු ද ගෙන එම ද්‍රව්‍ය සිනිඳු වන සේ අඹරා ගන්න. මෙම මිශ්‍රණයට ලියාගත් රතුළූණු, මිරිස් කුඩු, තුනපහ කුඩු  හා ලුණු ද එකතු කර එයටම කපා ගත් කිරි අල කැබලි ටික දමා හොඳින් අනා ගන්න. මෙම සාදා ගත් මිශ්‍රණය දිය කිරෙන් මිනිත්තු 20 ක් පමණ තම්බා ගන්න. ව්‍යංජනය ඉදෙන තුරු නිතරම හැඳි මිටෙන් සොලවා හොද්ද රත් වන විට මිටි කිරි දමා මඳ ගින්නේ මිනිත්තු 15 ක් පමණ තබන්න.

පොල් කිරෙන් දේසාල වල පවතින උෂ්ණත්වය කැපී යයි. ඉසුරු දේසාල ව්‍යංජනයක් සතියකට දෙවතාවක් වත් ආහාරයට ගනී නම් සෑහෙන පිෂ්ට ප්‍රමාණයක් ශරීරයට එකතු කර ගත හැක. පිෂ්ටය අධික හෙයින් ශරිර ශක්තිය ලබා දීම සිදු කරයි.


2. කිරි අල තෙලට සකස් කිරීම

  • අවශ්‍ය ද්‍රව්‍ය - කිරි අල 200 g , තක්කාලි 30 g , සිහින්ව කපා ගත් අමුමිරිස් කරල් 04 , උම්බලකඩ  මේස හැඳි 03 , ලොකු ළූණු 50 g , කහ තේ හැඳි 1/4 , කරපිංචා කිණිත්තක් , රම්පේ කැබැල්ලක් , පොල්තෙල් ස්වල්පයක් , කුරුඳු පොතු කැබැල්ලක්
  • සාදන ක්‍රමය -
    1. පළමුව කිරි අල සුද්ධ කර කපා සෝදා ගන්න. පසුව ලුණු දමා ජලයෙන් මිනිත්තු 20 ක් පමණ තම්බා දිය බේරා ගන්න. භාජනයක් ලිප තබා තෙල් දම ලුණු, රම්පේ, කරපිංචා හා කුරුඳු පොතු දමා බැද ගන්න. බැදීගෙන එන විට උම්බලකඩ, කෑලි මිරිස් සහ ලුණු දමා නැවතත් තරමක් බැද ගන්න. ඉන්පසු තක්කාලි  හා දෙහි දමා තම්බා ගත් කිරි අල සමඟ යළිත් මද ගින්නේ ස්වල්ප වේලාවක් තම්බා ගන්න.

කිරි අල තරමක් උෂ්ණ ගතියෙන් යුතු නිසා ගැබිණි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට නිතර ආහාරයට ගැනීම සුදුසු නැත. නමුත් ඉතා අධිකව කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ලෙස ගැනෙන කිරි අල සිහින් සිරුරක් ඇති අයටත්, අඩු පෝෂණ තත්ත්වයෙන් යුතු අයටත් ඉතා ගැළපෙන ආහාරයකි. තන්තුමය කෙඳි සහිත අල වර්ගයක් වන මෙය හොඳින් තම්බා ආහාරයට එකතු කර ගැනිම වඩාත් උචිතය.

විටමින් පවුලට අයත් තයමීන් සහ කැල්සියම් කිරි අල වල බහුලය. එමෙන්ම විටමින් සී, කැරොයින් විටමින් හා ඛණිජ ලවණත් බහුලය. මෙය අධි පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරයකි.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")